Showing posts with label ආර්ථිකය. Show all posts
Showing posts with label ආර්ථිකය. Show all posts

Friday, November 23, 2012

අළුත් කෝණය

උද්ධමනෙත් එක්ක වැඩි වුණ බස් ගාස්තුව දරාගන්න එක රටේ වැඩ කරන ජනතාවට ලොකු ප්‍රශ්ණයක් වුණා.

බදු සහන ලැබිලත් ලැම්බො ගිණි ගණන් නිසා ඒක විසඳුමක් වුණෙත් නෑ.

බස් ගාස්තු අඩු කරන්න කියල වර්ජන කල්ලි සේරම වටරවුමකට එකතු වෙලා බෙරිහන් දුන්නා.

රටේ ලොක්ක, හැම ප්‍රශ්ණයක් දිහාම අළුත් කෝණෙකින් බලන ආර්ථික කටයුතු ඇමතිව වර්ජකයන්ට උත්තර බඳින්න පිටත් කලා.

ආර්ථික ඇමති මේ ප්‍රශ්ණෙත් අළුත් කෝණෙකින් බැලුවා.

''අපි දන්නවා තමුන්නාන්සෙලට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ප්‍රවාහණේ බව. තෙල් මිල වැඩි වෙද්දි ප්‍රවාහන ගාස්තු වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මේකට අපි නියම විසඳුම ලබා දෙනවා. ලබන මාසෙ ඉඳන් සතියෙ දවස් හතරක්ම නිවාඩු. දවස් තුනක් වැඩට ගියාම ඇති.''

එව්වේ - hare :-)

Wednesday, April 18, 2012

එලෝලු කයිය........

නිමිත්ත : දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දමයි.

කන්න නැතිව දුප්පත් උන් වේලෙනවා
ලොක්කො එකතුවී සුර සැප වලඳිනවා
සොක්කො සැමට කන බත් පත වරදිනවා
අහෝ අපිත් මේ විදිහට විඳවනවා

එදාවේල කන්නේ හරි අමාරුවෙන්
බස් රථයේ යන්නේ දුක් මහන්සියෙන්
එලවලු අහෝ මේ විදිහට වීසි කරන්
ගොවියන් යන්නෙ සුසුමක් හදවතේ දරන්

තක්කලි මෑකරල් වම්බටු වට්ටක්කා
දඹුලු පොලට ගෙනවිත් ගොයියෝ වික්කා
ලාබ ගන්න බැරි බව දැනගත් අක්කා
පොහොරට දෙන්න ගෙනියනවා බණ්ඩක්කා

ගමේ අපට ඔය කිසිවක් නොදැනේවා
කොස් අල බතල වැඩි වැඩියෙන් වැවේවා
හිතේ දුකට යලි කවි නම් නොලියේවා
මහජන සම්පතක්වත් හෙට ඇදේවා


ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)

Sunday, October 3, 2010

මල් කිනිත්තක්...

කැලෑ මණ්ඩිය හේන් ගොවිතැන් ඉඩම් පිහිටි සීමාවෙන් මායිම් වන අලි වැට අද්දරින් පියවර තබද්දී ඈතින් පිහිටි කටුමැටි වරිච්චි බිත්තිවලින් වට වුනු පොල්ලතු සෙවිලි කළ කුඩා පාසැල මීදුම අස්සෙන් මතු වී පෙණුනි.
 ළමා ලපටි  හොටු නාවර පෙරා ගෙන කිළුටු වස්ත්ර්යෙන් සැරසී අවුල් වූ හිස කෙසින් යුතුව කබල් ලෑලි බංකු මතත් බිමත් ලැග සිටි දසුන මගේ දෑස් සැණෙකින් නිලංකාර කරන්නට සමත් විය.
 මගේ අත්බෑගයත් කුඩයත් සුළඟේ පාවී ගොස් පාසැල් මිදුලේ පතිත විය‍.‍
 මගේ දෑත් වෙව්ලන්නට ගත්තේය. දෙදණ අප්රාදණික විය.
 මම කුමක් මේ දරුවන්ට උගන්වන්පනේ දැයි අහස දෙස බලා කකියන  හදවතින් විලාප නගමින් කෑකොස්සන් ගසන්නට වීමි.
 “ආයුබෝවන් ටීචර්!”
 පුංචි දරුවෙක් මල් කිනිත්තක් වෙලා...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Monday, September 13, 2010

ධූරාවලි


එයාට අක්ක කියල කියන්න එපා

කාන්තා කාකාසවරියකට අක්කායැයි ඇමතූ විට විජේසේන මහත්මිය මාගේ කණට කර කීවාය.

ඔයාල අළුත් නිසා මේව දැනගන්න ඕන. එයාලව කරට ගන්න එපා.

අළුත් රාජකාරියට හුරුවන්නට මාස ගණනක් ගතවීමට ඉඩ ති‍බේ. සියල්ලට වඩා මේ බල ධූරාවලිය වටහාගැනීම දුෂ්කරය.

කාර්යාලයේ වසරක් සේවය කර අත්දැකීම් ලැබ මම පසක් කලෙමි.

කණිෂ්ඨ තනතුරුලාභීන්ට මහතකු හෝ මහත්මියක වීමටද වරමක් නැත.

තම මවගේ අභාවයට සහභාගි වූ කාර්යාලයේ සැමට ස්තූති කර ඊයේ එක් කණිෂ්ඨ සේවිකාවක් දැන්වීම් පුවරුවේ දැන්වීමක් පල කර තිබුණි.

දැන්වීම අවසන,
ස්තූතියි
එම්. චන්ද්‍රතිලකා මිය’ 

යනුවෙන් ඇගේ නම සඳහන් විය. 

අද එහි වූ මියකොටස කවුරුන් විසින් හෝ කුරුටු ගා තිබුණි.

ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Tuesday, September 7, 2010

ෆෑන් එක සහ ඉටිපන්දම

''අම්මලාට ගිය මාසෙ ලයිට් හම්බෙලාලු...''

''ආ..ඇත්තද.....''

''අපි ඒ පැත්තෙ ගිහින් එමුද හෙට අනිද්ද?''

බිරිඳගේ පෙරැත්තය නිසාම පසුගිය සති අන්තයක අපි ඇයගේ මහගෙදර බලා පිටත්ව ගියෙමු.

"අපි මොනවද අරන් යන්නෙ...?"

ඇය නගරයේ ලොකු සාප්පුවකින් stand fan එකක් උස්සගෙන ආවාය.

"තාත්තට සතුටු හිතෙයි..."

"හ්ම්.."

අප එහි යන විට රාත්‍රී හත අට පමණ වී තිබුණි. වහා ඇඟ සෝදාගත් මා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදීම හදිසියේ විදුලිය විසන්ධි විය. එකෙනෙහිම කාරුණික වූ නැන්දනිය ඉටිපන්දමක් දල්වා කෑම මේසයේ අප අසලින් තැබුවාය.

" අම්මේහ්... හරි ඌෂ්ණෙ..."
මාමණ්ඩිය මොහොතකින් කියන්නට විය.

"දූ ගෙනාව ෆෑන් එක දාන්නද...?"
නැන්දම්මා අසයි,

"ඔහේට පිස්සුද හැබෑට ඉටිපන්දම නිවෙනවනෙ..."
වහා කිපෙන සුළු මාමණ්ඩිය බෙරිහන්දෙයි.

ලියා එව්වේ - සුදර්ශන දිසානායක

Monday, September 6, 2010

හයයි කාල වෙනකම්...

“තව විනාඩි 3ක් තියෙනවා....”
ඇඟිලි සලකුණු යන්ත්‍රයට එබුණ මහේෂ් එහෙම කියාගෙන පුටු ඇන්දක වාඩි වුණා.
මම වරින්වර ඇඟිලි සලකුණු යන්ත්‍රය දිහා බලමින් හිටියෙ මේසයකට හේත්තු වෙලා.
අපි දෙන්නම ඕෆ් වෙන්න ලෑස්ති වෙලා...
කතාවක් පටන් ගත්ත. අන්තිමේදි හරියට කතාවක් කරන්න පුළුවන් තරමට නිශ්ශබ්ද වෙලාවක්...
“මේ පාර විතරයි ඕ.ටී. තියෙන්නෙ. සල්ලි ඉවරයිලු. ඊලඟ මාසෙ ඉඳන් වන් ඇන්ඩ් ඔන්ලි බේසික්.”
“හ්ම්... මම දැක්ක පත්තරෙත්... සැප්තැම්බර් වෙද්දි ආණ්ඩුවෙ සල්ලි හිරවෙනව කියල...”
“ආණ්ඩුවෙ වියදම්... තේරුමක් නැතිව හැම දේටම...”
“අපේ වියදනුත් එහෙම්මම තමයිනෙ බං” මට කියවුණා.
“උඹ නං කියයි. උඹ තනියනේ”
මට අමාරුවෙන් හිනා වෙන්න පුළුවන් වුනා...
“හරි! හයයි කාලයි. යමු” මහේෂ් ඇඟිල්ල දික් කරගෙන නැගිට්ටා...

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...