Monday, December 31, 2012

ගණිත පාඩම

යාබද නිවසට කුලී පදනම මත පැමිණි පවුලේ සතර වයස් වියැති සුරතල් දියණියක් සිටී! සුරතල්බවින් මෙන්ම වයසට වඩා පිරිනත දැනුමකින්ද සමන්විත ඇය, ළදරු පාසැලේ ඉගැන්වීම්වලට අමතරව බාලාංශ පුවත්පත්ද මිලට ගෙන ඒවාගේ ක්‍රියාකාරකම් කරයි.

වයසට අනූව හරි හැටි ඉලක්කම් විස්සක් හෝ නොදැන උන්නද එකතුකිරීම අඩුකිරීම වැනි ගණිත කර්මයන් ඉතා පහසුවෙන් කිරීමටද ඇය හපනියෙකි, නමුත් ගැටලුව ඉතා ඉක්මනින් අමතකවීමයි, වැඩිහිටියන් ලෙස අප විසින් සිදු කල යුත්තේ උදාහරණයක් දක්වා සුලු සහයක් ලබාදීම පමණි.

දිනක් ඇයට අඩුකිරීම අමතකව තිබුණි,

“හරි දැන් තාත්තා ඔයාට ටොෆී හතරක් දෙනවා... ඔයා ඒ ටොෆී හතරම කෑවම ඔයා ලඟ මුකුත් ඉතිරි වෙන්නේ නැහැනේ... ”

“හෑ!!!.. නෑ පිස්සුද? එතකොට කොල හතර කෝ????”



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, December 28, 2012

නුඹ නුඹම ද...

“මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව...

 “කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..

“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..

කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...

“මදාරා...“

“හ්ම්ම්..”

“ඔයා හෙට මොකද කරන්නේ?”

“විශේෂයක් නෑ”

“අපි කොහේ හරි යමුද?”

“කොහේ හරි කිව්වේ?”

“ඔයා දන්නවා මම මොකක්ද කියන්නේ කියලා”

“ඒත් ඔයාමනේ කිව්වේ අපි බඳින කම් ඒ විදියට මාව අල්ලන්නේ නෑ කියල”

ඔහු මහා හය්යෙන් හිනා උනා...

“ඔයා කොයි තරම් අහිංසක ද, මම තාම රහත් වෙලා නෑ මදාරා”

ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)

Wednesday, December 26, 2012

සිහින කුමාරි

ඔන්න එකෝමත් ඈත රකට තිබුණා ලස්සනම කුමාරිකාවක් ඉන්න ලස්සන රාජධානියක්. මේ ලස්සනම ලස්සන රාජ කුමාරිකාව ජීවත් උනේනම් සුරංගනා ලෝකෙක. එයා බලාගෙන හිටියේ සුරංගනා කතාවල වගේ කුමාරයෙන් ඇවිත් එයාව එක්කං යයි කියලා.

දවසක් මේ කුමාරි උද්‍යානයේ ඇවිද ඇවිද කල්පනා කළා කැත රාස්සයෙක්ට හාද්දක් දුන්නම රාස්සයා කුමාරයෙක් වෙලා තමන්ව කසාද බඳීන හැටි ගැන. එතකොටම කුමාරිට ඇහුනා කවුදෝ කතා කරනවා. බැලින්නම් කකුල් දෙක ගාව කැතම කැත ගෙම්බෙක්.

"මායා කාරියෙක් මට සාපයක් කළා......" 
ගෙම්බා කිව්වා විතරයි කුමාරි පැන්න ගමන් ගෙම්බට හාද්දක් දුන්නා. ඒත් එක්කම කුමාරිව කැතම කැත ගෙම්බියෙක් උනා.

"මදෑ.... මේ ගෑණුන්ට දෙයක් කියනකං ඉවසං ඉන්න බෑනේ. දැන් හොයපංකෝ මේකිටත් එක්ක කෑම" ගෙම්බා මිමිණුවා.
 
ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Monday, December 24, 2012

සිංහල සින්දු

කවියක්, ඔව්!!
නමක් නැති කවියක්,
අරමුණක් නැති පද වැලක් ලඟ
එලිසමය වැට හැඩට බඳවන
නමක් නැති කවියක්,.............
තනුවක්, ඔව්!!
එය සුපිරි තනුවක්
කනට හුරු නැති, දනන් නොමදත්
විශාරදයෙකු ගොතපු තනුවක්,
වෙන රටක තනුවක්...............
නිළියක්,ඔව්!!
මනබඳින නිලියක්,
පියරු අතුරා පාට තවරා
අංගනා රූසිරි ප්‍රගුණ කල
අපි දන්න නිලියක්..................
මිතුරෙක්, ඔව්!!
අතිජාත මිතුරෙක්,
ඔහුත් නොමදත් අපත් නොමදත්
වදන් වැකි වේගයෙන් කියවන
එයා රොක් තරුවක්..................
දිනයක්, ඔව්!!
ජනහිතැති දිනයක්,
බොහෝ මිනිසුන් විවේකෙන් හිඳ
රූප පෙට්ටියේ අසල හිඳගත්
නොන් පීක් දිනයක්..................
වලියක්, ඔව්!!
මම ලියපු කව,  මගේ අදහස,
මගේ පිරිවැය, මගේ සිහිනය,
හරි ජයට වලියක්...................
ගීයක්, ඔව්!!
හෙලබසින් ගීයක්,
හොරාගත් තනුවලට නිමැවුනි
සිරිලකේ ගීයක්........................

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, December 21, 2012

ඒ විරාමයෙන් පස්සෙ

විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ඇබ්බැහිය නිසා විනාශ වෙන්න යන විධිය හරිම ශෝචනීයයි... ඔබ ඒ චරිතය ගොඩනංවල තියෙන්න විධියට වෙලාවකට සැකයකුත් ඇතිවෙනව ඔබත් දුම් පානය කරන්නෙක්ද කියල. සමාවෙන්න මෙහෙම අහනවට... ඔබ දුම් පානය කරල තියෙනවද කවද හරි?

නැතුව...? දැනුත් බොනවා... සිගරට් නොබී කොහොමද පොත් ලියන්නේ...?

ලියා එව්වේ - hare :-)

Wednesday, December 19, 2012

මමද ආදරේ? මටද ආදරේ?

මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...
ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!
දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව...
"යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"
ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...
මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා!
ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි!
එයා සම්බන්ධය නවත්වපු දවසෙ මට කිව්වෙ...
"මම ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ"

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com/)

Monday, December 17, 2012

සම්මතයට එරෙහි අසම්මතය

වේගයෙන් ඇදුනු රුහුණු කුමාරියේ හඬට මුතූ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ, ඒත් මම උනත් හිතෙන්නේ එයා කෑ ගහලා කියන්න හදන දේම තමයි

“හැම තැනම මිනිස්සු, වෙරළේ යන මිනිස්සු, රේල්පාරේ යන මිනිස්සු, පේලි ගෙවල් ලේන් වල ඇවිදින මිනිස්සු, උන් ඔක්කොම බලන්නේ අපි දිහාවේ, හරියට ගිලින්න වගේ.........., අනේ හැබෑටම මුන්ට බලන්න වෙන කිසිම දෙයක් නැද්ද....? මොනවද මුංට වෙලා තියෙන්නේ...? උන්ගේ ඇස් වලින් මිදෙන්න අපිට කිසිම ආවරණයක් නැහැ, මට කමක් නැහැ ඒත් මුතූ තාමත් පුංචි කෙල්ලෙක්, මට ආදරේ කරන පලියට ඒකි මුන්ගේ කතන්දර අහන්න ඔනිනෑ...”

අන්තිමේ මං තීරණයක් ගත්තා... මුන්ගේ ඇස්වලින් ඈතට යන්න.

“මුතූ අපි යමු Room එකකට ටිකක් නිදහසේ කතා කරන්න....”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, December 14, 2012

වර්ෂ 2024 දිනක.. පුවත්පතක..

පසුගියදා රජය විසින් ඇතිකරන ලද කැරට් තහනම හදිසියේ ඇති වූවක් නොවන බවත් 2012දී කළ නීතිමය කටයුත්තක් නිසා කාන්තාවන් කැරට් හා වම්බටු භාවිතය වැඩිවීමට අනුරූපව ගත් සමාජ ශෝධන ක්‍රියාමාර්ගයක් බව සඳහන් විනි.. ඒ අනුව වෛද්‍ය විද්‍යානුකූලව විධිමත් පර්යේෂණ කන්ඩායමක්ද, සමාජ විද්‍යාඥයින්ගේ අදහස්ද, කෘෂී විද්‍යාඥයින්ගේ උපදෙස්ද මත කැරට් වැවීම රජය විසින් සීමා කරන ලදී. මින්පෙර වම්බටු නැමති ගෙඩි වර්ගය කටු දාර නැති මෘදු පිට පොත්තක් සහිතව සැදෙන ආකාරය වෙනස් කිරීමට කෘෂි විද්‍යාඥයෝ ක්‍රියා කිරීම හේතුවෙන් කැරට් භාවිතය වැඩි වී ඇති බවත් කැරට් නිෂ්පාදනය සීමා කිරීම මගින් සමාජ ගැටලුව නැති ධාර්මික දේශයක් ඇති කල හැකි බවත් සදාචාර කටයුතු පිළිබඳ අමාත්‍ය තුමා සඳහන් කලේය..

ලියා එව්වේ - අමිල (http://ansathudinapotha.blogspot.com/)

Wednesday, December 12, 2012

උපන්දින සුභ පැතුම්

අපේ සීයලා
ඉස්සර උපන්දිනේට අපි කාඩ් යවනවා..
මතක තියං ඉඳලා දින ගැනලා තැපැල් කරන්නේ හරිදවසටම අතට ඒක ලැබෙන විදිහට..

අපේ තාත්තාලා
ඩයරිය බලලා පෝන් කෝල් එකක් ගන්නවා උදෙන්ම...
එයාලාගෙ කටින්ම සුභ පතන්න..

අපි ඉස්සර
sms එකක් යවනවා. ඕවට යවන්න ලස්සන ඒවා තියනවා සේව් කරලා.
ෆෝන් එකේ රිමයින්ඩරේ දාලා තියෙන්නෙ ඔක්කොම.
කෝල් කරන්න කෝ අපිට වෙලාවක්..

අපි දැන්
ෆේස් බුක් තියනවනේ.. ඒ නිසා කාගෙවත් උපන්දින මඟ ඇරෙන්නෙ නෑ.
වෝල් එකේ HBD කියලා ලියලා දානවා.. හරිම simple වැඩක්.
මොකද අපි හරි බිසි නේ!
Happy Birthday කියලා ලියන්න තරම්වත් වෙලාවක් නැහැනෙ අපිට
ඇරත් මොකට ඕවාට වද වෙනවද?
අපි දැන් ඉන්නේ facebook ජෙනරේෂන් එකේනේ!

ලියා එව්වේ - Sabith (www.sabithl.blogspot.com)

Monday, December 10, 2012

I Also Hate Red

මේ ගවුම ඔයාට ලස්සනයි.
අනේ එපා, ඒක රතුනේ.

එහෙනම් මේ කුඩේ ගමුද?
එපා, මම රතු පාටට ආස නෑ.

මෙන්න ලස්සන රතු රෝස මලක්,
එපා, I Hate RED

ඔයාගෙ කම්මුල් රතු පාටයි.
බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද?  රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,

හැමදාමත් ඔයා රතු පාටට වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.

අද අපේ Home Coming එක,ඔයාට රතු පාට සාරියක් අඳින්නම වෙනවා. ඒත් දැන් මම දන්නව ඔයා ඇයි රතු පාටට වෛර කරන්නෙ කියල.

හ්ම්.... අද ඉඳන් මමත් රතු පාටට වෛර කරනවා.

"I Also Hate RED"

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Friday, December 7, 2012

රාවණා එනවලු

 "මචන් උබ දන්නවද රාවණා රජතුමාව ?
අර රාමායනේ ඉන්නේ...
රාවණා රජ්ජුරුවෝ අයෙමත් එනවලු,
රාවණාට වරයන් 2 ක් හම්බුනලුනේ බන්,
ඒ එකකින් එයා අමරණීය වෙන්න ඉල්ලුවලු,
දැන් කියන විදියට එයා සැතපිලාලු  ඉන්නේ කොහෙද ගලක් යට,
ඒ නිසා ඒ නින්දෙන් ඇහැරිලා අපහු එනවා කියල පොත් වල කියනවා
ලගකදී ෆොටෝ එකක එතුමගේ දඩුමොනරේ වගේ දෙයක් වැදිලා තිබ්බලු 
ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ ,
හැබැයි එහෙම අවොත් අපේ රටේ අලුතින් කතාවක් ලිය වෙයි නේ බන්..."
"හ්ම්ම්...
එත් රාවණා එතකොට මෙච්චර කාලයක් නිදාගෙන හිටියේ මොකද ?
රාමට අහුවෙයි කියල බයේද ?
විබීශනට බයේද ?
කොටියන්ට බයේද ?
නැත්තන් වෙන සුදු වෑන් වලට බයේද ?"
ලියා එව්වේ - අමින්ද ඉෂාර (wikarapituwa.blogspot.com)

Wednesday, December 5, 2012

ඔබට බැදි සෙනෙහස

පුංචි තරුවක් තනි වෙලා හිද
පැතුම් පොදි බදිනා වෙලේ
මගේ මතකෙට කොහේ සිට ඔබ
පැමිණියේදැයි නොම හැඟේ

ආදරේ මහ සාගරේ මැද
අප දෙදෙනා තනි වූ වෙලේ
ආදරේ කොපමණ සොඳුරුදැයි
හැඟුණි ඔය නෙතු දුටු වෙලේ

රුවට නොව මා ඔබට බැඳුනේ
නුඹේ හොඳ ගුණ දුටු නිසයි
සොඳුරු ඔය සිතෙ තියෙන ආදරේ
මගේ හදවතේ රැඳුන හින්දයි

කෙලෙස කියමිද හිතා ගනු බෑ
කවි හිතත් අද හොඳ හැඩයි
ඔය හිතට බැදි මගේ සෙනෙහස
ඇත්තමයි හරි පිවිතුරුයි

ලඟින් සිටියත් නොසිටියත් ඔබ
සිතින් සැමවිට මා ලඟයි
මියෙන විටදිත් ඉන්න ඕනේ
මට ඔබේ තුරුලෙම තමයි

සිත සැනසුම සලසන මට
ඔය සෙනෙහස මහමෙරක්ය
හැමදාමත් ලඟට වෙලා
ඉන්නට මට අවසරයිද

ලියා එව්වේ - චතූ

Monday, December 3, 2012

ගැලවුම්කාරී

"උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල"

"ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගම
දිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එන
විදහට..... නේද?"

"බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේ
හැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ  වැටිලා  උන්නු මම එදා  උඹව දැක්කේ  ඉටුදෙවතාවියක් විදිහට."

"ඒ කියන්නේ දැනුත් උඹ ආදරේ කරන්නේ මට නෙමෙයි කියලද ඔය කියන්නේ....?"

"විකාරද.... සත්තකින්ම උඹට තමයි..... මේ ලෝකේ එදා ඉඳන් මං වැඩියෙන්ම ආදරේ
කරන්නේ උඹට.. ඒ ඇයි දන්නවද.... උඹයි මගේ එකම ගැලවුම්කාරී"
 
ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com/)

Friday, November 30, 2012

මල් සීය

වචන සීයක් ලියන්නයි හිතුණේ.
කොළයකුත් පෑනකුත් අතට ගත්තා.
දැන් මං මොනවද ලියන්නේ? හිතමින් මතකෙට මොනවහරි එනකන් කොළේ උඩ හරියෙන් පොඩි රවුමක් ඇන්දා.
රවුම වටේට පෙති දාලා ඒක මලක් කළා.
ඊළඟට ඒකෙ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන්න පාට කළා.
පෙති වල සුමට ගතිය ගන්නයි මං ගොඩක් වෙහෙසුණේ.
තව පොහොට්ටුවකුයි කොළ කීපයකුයි දාලා ඊළඟට ඒක මල් ඉත්තක් කළා.
නැවත නැවතත් මල් කීප තැනකම ඇන්දා.
මුළින් පෙති පහේ මල්. ඊළඟට අටපෙති, දාස්පෙති වගේ මලුත් ඇඳුණා.
පොකුරු මලුත් ඇඳුණා. හැම මලම පාට කළා.
පස්සෙ මං මල් ගණන් කරමින් අඳින්න ගත්තා.
මල් සීයකට ආවම තමයි නැවතුණේ.
ලියන්න මුකුත් හිතුණෙ නෑ කියල හිතෙනකොට කොළේම මල් වලින් පිරිලා තිබුණා.

ලියා එව්වේ - මගේ ජීවිතය

Wednesday, November 28, 2012

ආදරේ සුන්දරයි

හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි. මුලින්ම  කියවල ඉමුකො.


බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්න

මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබසක්.

Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Monday, November 26, 2012

කුරුළු පිහාටු

අපි දෙන්නා විතරක් තනි වෙච්චි ගඳ ගහන කාමරේ. මගේ අතේ තිබ්බේ කුරුළු පිහාට්ටක්. අපි දෙන්නා බීච් එකේ ඇවිදං එන ගමන් එයාමයි දැකලා අහුලගත්තේ.

නිරුවත් ඇගේ ලය මැදින් නාභිය දක්වා. ඉහල ඉඳන් පහලට පහල ඉඳන් ඉහලට නැවතත් නාභිය ගාවට, ඊට ටිකක් පහලට.

"නිකා ඉන්න අනේ මට කිති....."
හිනා වෙවී කිව්ව විදිහට මට හිතුනේ තව පහලට කරන්නැයි කිව්වා කියලා.

"කැලෑවක් මැද්දේ හැංගුණු ගල් ගුගාවක් ඇතුලට කුරුළු පිහාට්ටක් හුළඟේ පාවෙලා ආවා මේං මෙහෙම"

"නවත්තන්න අනේ කිති කැවෙනවා ඕකට"

                                                                 ******************************************************************

මම කුරුළු පිහාට්ට ඉඹලා බැලුවා. එයාගේ සුවඳ තාමත් ඉතිරිද කියලා. හපුටු ගඳයි ඔළුව රිද්දන මතකයයි විතරයි. කරුමක්කාර කුරුළු පිහාට්ට! මම දෙකට කඩලා වීසි කළා.

ලියා එව්වේ -

Friday, November 23, 2012

අළුත් කෝණය

උද්ධමනෙත් එක්ක වැඩි වුණ බස් ගාස්තුව දරාගන්න එක රටේ වැඩ කරන ජනතාවට ලොකු ප්‍රශ්ණයක් වුණා.

බදු සහන ලැබිලත් ලැම්බො ගිණි ගණන් නිසා ඒක විසඳුමක් වුණෙත් නෑ.

බස් ගාස්තු අඩු කරන්න කියල වර්ජන කල්ලි සේරම වටරවුමකට එකතු වෙලා බෙරිහන් දුන්නා.

රටේ ලොක්ක, හැම ප්‍රශ්ණයක් දිහාම අළුත් කෝණෙකින් බලන ආර්ථික කටයුතු ඇමතිව වර්ජකයන්ට උත්තර බඳින්න පිටත් කලා.

ආර්ථික ඇමති මේ ප්‍රශ්ණෙත් අළුත් කෝණෙකින් බැලුවා.

''අපි දන්නවා තමුන්නාන්සෙලට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ප්‍රවාහණේ බව. තෙල් මිල වැඩි වෙද්දි ප්‍රවාහන ගාස්තු වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මේකට අපි නියම විසඳුම ලබා දෙනවා. ලබන මාසෙ ඉඳන් සතියෙ දවස් හතරක්ම නිවාඩු. දවස් තුනක් වැඩට ගියාම ඇති.''

එව්වේ - hare :-)

Wednesday, November 21, 2012

විඳීම් මනඃකල්පිතයි... සංජයගේ සිහිනය හරවා දුටිමි.

මා රුව මෙලොව සොඳුරුමැයි සිතා අයා සිටින ඔහු දෑස් තුලින් රෝම කූපයක් පාසා ගලා යන රාගය නම් විදුලි ධාරාව පසිඳුරන් පිනන්නට දඟ දමා සැරසෙන සර්පයා අවදි කරවයි.
වියරු සපාකෑම් වලින් දැනීම් නැත්තටම නැතිවූ මගේ දෙතොල් මත වාමාවර්තව පැදකුණු කල ඔහුගේ දබරැගිල්ල...
එක් වරම මා තිසරුන් නහවන්නට ලං කල් ඔහු මුව...
නොදැමුණු තරුණ මදයෙන් මගේ පිට පුරා සක්මන් සොයන ඔහුගේ නැඹුල් අතැඟිලි...
සියක් මුවින් නහවා ඉඳුල් කල තිසරුන්ට කෙසේ දැනෙන්නද ඔබේ ඔය තරුණකම...
සූරා කොනිත්තා දැනීමක් නොදැනෙන  රළු වුණු මගේ පිටට ඔය ඇඟිලි ලාමක වැඩි වීද?
ඔහු මා විඳින්නට තනයි.
මම විඳවමි ඔහු හා තව පැයක්  යලි නොඑන හීනයේ තාවකාලික උම්මත්තිකාව!

ලියා එව්වේ - නිශානි

Monday, November 19, 2012

විඳීම් මනඃකල්පිතයි...

ඇගේ රුව රූප සුන්දරියන් වැඳිරි මෑල්ලන් බවට පත් කිරීමට සමත්ය. ඈ දෙස බලා සිටීම පවා හැඟීම් නැමති නළාවෙන් රාගය නැමැති තනුව වාදනයකර මාගේ සුරතල් සර්පයා රංගනයකටක යොමුකිරීමක් වැන්න.

මම දබරඟිල්ල ඈගේ සියුමැලි දෙතොලේ දාරය වටා වටයක් දක්ෂිණාවර්තව පැදකුනු කෙරෙව්වෙමි. ඒ තිසර යුවල ජලයෙන් නහවන්නට මා පටන් ගතිමි. සෙමින් සෙමින් පිරිමදින කල තිසරයින් නව ජීවයක් ලබන්නාක් මෙන් සෙමෙන් සෙමෙන් හිස ඔසවා මදෙස බලයි. ඇගේ ඉඟ මිටින් ගත හැකිදැයි පරීක්ෂා කිරීමට මා පටන් ගතිමි. එය ඉතා සියුම් පරීක්ෂණයකි. ඇඟිලි තුඩින් ඉතාමත් සෙමෙන් ඇගේ සමේ ස්පර්ශ වන නොවන ලෙසට උකුල පිටුපස සිට ඉඟ දක්වා සෙමෙන් ගෙන යා යුතුය. මම ඇය විඳිමින් සිටිමි..
හිතින්!

ලියා එව්වේ - ප්‍රසන්න සංජය

Friday, November 16, 2012

නාන තටාකයේ බණ්ඩා

බණඩා,  රටේ ප්‍රධාන අමාත්‍යංශයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. මොනතරම් ඉහළ තනතුරක් දැරුවද ගැමියෙකු වූ මොහු බුලත් කෑමේ පුරුද්ද අත් නොහැරියේය. තමන් ගැමියෙකු වීම ගැන ආඩම්බර වූයේය.

දිනක් බණ්ඩාට ඔහුගේ අමාත්‍යංශයේ කීපදෙනෙකුත් වෙනත් කාර්යාලයක කීපදෙනෙකුත් සමඟ විශේෂ වැඩමුඵුවකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා පිටත් වීමට සිදු විය.

සියල්ලෝම ලන්ඩනයේ ප්‍රධාන පෙලේ හෝටලයකට සේන්දු වූහ. කතා කර ගත් පරිදි හොටලයේ නාන තටාකයට පැමිණ විනෝද වූහ. බණ්ඩාද තටාකයට බැස්සේය.

ඔහුට එය නාන තටාකයක් බව අමතක විය. ඔහුට එය පෙනුණේ ගමේ වැවක් ලෙසය ඔහු හොඳින් නාන ගමන් හොඳ හැටි තම ශරීරයේ කුනු අතුල්ලන්නට පටන් ගත්තේය. තටාකයේ සිටි එකා දෙන්නා බැගින් ඉන් නික්මෙනු බණ්ඩාට නොපෙනුනි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, November 14, 2012

ළමයි

ආයිබෝවන් ටීච....
ආයුබෝවන් වාඩිවෙන්න.
ටීච මං පිටපත් ලිවීම් දෙකක් ලිව්වා...
ටීච මං අච්චු පොතේ වැඩ කළා...
ටීච මං සංඛ්‍යානාම පිටු දෙකක් ලිව්වා...
ආ හොඳයි මට ගෙදරවැඩ පොත් දීලා දැන් වාඩිවෙන්න...
දැන් ගන්න මිශ්‍ර අභ්‍යාස පොත්...
ටීච ප්ලේන් එකක්...
දුවමු දුවමු ඉක්මනට...
ළමා....යි
1. ළමයා: ටීච ඒක ප්ලේන් එකක් නේද?
2. ළමයා: නෑ ඒක හෙලිකොප්ටරයක්. නේද ටීච...
3. ළමයා: ටීච ඒක අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන්න පුළුවන්ද?
4. ළමයා: මේකට බාන්නැහැ ඒක බාන්නෙ ලොකු ඉස්කෝලෙ පිට්ටනියට.
3. ළමයා: ටීච ඒක අපේ පිට්ටනියට බාන්න පුළුවන්ද?
ඔව් ළමයිනේ ඒක අපේ පිට්ටනියට බාන්න පුළුවන් එකක්.
ළමෝ හැමෝම: හෑ...? ටීච ඒක බෑවම අපි සෙල්ලම් කරන්නෙ කොහොමද?


ලියා එව්වේ - මගේ ජීවිතය

Monday, November 12, 2012

ඩුප්ලිකේට් අංජනම

ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් මට පේනවා
ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!
ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා! හොඳින් පැහැදිලියි ස්ථානය...
ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...
ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...
ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..
අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...
අංජනම් දේවතාවිය අවසරයි...
මම හිතන්නේ ඔය අපේ ගෙදර!
ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!
සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර! ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර!
තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...
මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com)

Friday, November 9, 2012

සන්තෝශයේ ත්‍රිකොණමිතිය

ආදරය රාගයද නොවේ
රාගය යනු අදරයම නොවේ
රාගය විශ්වාසයත් නොවේ
නමුත් රාගය විශ්වාසය මත රඳා පවතී
අදරය යනු විශ්වාසයම නොවේ
අදරයේදී රාගය ඇතිවේ
රාගය ඇතිවන්නේ විශ්වාසය මතිනි
නමුත්
විශ්වාසය රාගය නිසාම ඇති නොවේ
සතුට නිසාම ආදරයට පැවැත්මක් නැත
රාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකි
නමුත් සතුට ආදරය මතින් ඇතිවේ

සන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය

රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය සතුටු නොවේ, නොඑසේනම් එය හුදෙක් සතුටක් නොවේ, ආදරය පමණ්ම ලැබීමත් විටෙක අසත්තෝෂයක් ඇති කරයි, විශ්වාසය පමණක්ම රැගෙන යන්නාට ආදරය සහ රාගයත් හමු වූ විටෙක, සන්තෝශය ඇතිවේ!

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, November 7, 2012

Girls Vs Bus තියරිය

“ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.” 

බලන්න මේ කියමන අහල තියෙනවද කියල.  මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත. 

1.    ගෑණු ළමයා = බස් එක
2.    දවසක්  = ජීවිත කාලය 
   
කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.

කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් එකක් යනකොට තව එකක් විදිහට පෝලිමේ බස් එනව, එක බස් එකක් වැරදුනාට නම් අවුලක් නෑ. ඒත් අපේ ගම් පළාතෙ,

මුළු දවසටම තියෙන්නෙ එකම එක බස් එකක් විතරයි.

අන්න ඒ නිසා මම නම් කීයටවත් බස් එක මිස් කරගන්නෙ නෑ.

ඇත්තමයි...

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Monday, November 5, 2012

පහනේ භූතයා!

ඕන්න එකෝමත් එක කාලෙක, (ඒ කිව්වේ පහන් ඇතිල්ලුවාම භූතයෝ මතු වෙච්ච කතා සේරම සිදුවෙලා ඉවර වෙච්චි කාලෙක) ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ජෝසප්. ජෝසප්ගේ විනෝදාංශය උනේ පහන් එකතු කරන එක. දවසක් එයා හොයං ආපු පරණ පහනක් රෙදි කෑල්ලකින් පිහිදාන්න ගත්තා විතරයි ඒකෙන් මතු උනා භූතයෙක්.

ඔබ මාව මේ පහනෙන් එළියට ගත්තට ඔබට කැමති ඕනෑම වරයක් ලැබෙනවා!

ඕනෑම වරයක්? 

ඔව් ඕනෑම වරයක්!

එහෙනං මම මගේ වරය විදිහට ඉල්ලනවා මට තවත් වර ඕනෑම ගාණක් ඉල්ලන්න පුළුවං වෙන්න කියලා.

ඔන්න ඔය වෙලේ තමයි භූතයාට තරු පෙනුනේ. භූතයා වරයත් නොදීම අතුරුදහන් උනා. එදා ඉඳං අද වෙනකං ආයේ කිසිම දවසක කිසිම පහනකින් භූතයෝ මතු උන්නෑ.

ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Friday, November 2, 2012

බාරය

ඈ නව විලාසිතා වලට බොහෝ සේ ඇලුම් කල තරුණියකි. දිනක් හිතවතෙකුගේ උපන්දින සාදයකට ඇරයුම් ලැබූ ඈ වේලකල් ඇතිවම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උවමනාවකිනි.. නියමිත දිනය උදාවූ කල ඈ වෙනස්ම මාදිලියේ කලු පැහැති ඇඳුමකින් සැරසී අත් සහ පයටද කලු පැහැති නිය ආලේපන ගැල්වුවාය.. වැඩි අලංකාරය පිණිස පයෙහි කලු පැහැති පටියක්ද ගැට ගැසුවාය.. පා නොවැසෙන සේ පාවහන් පැලඳූ ඈ හුන් සෙනඟ මැදින් ගමන් කර කකුලක් පිට කකුලක් දමා උජාරුවෙන් හිඳගන්නී.

"නංගී" අවටින් ඇසුන සුපුරුදු කටහඬකට ඈ සවන් යොමුවාය..

"නියපොතු කුණු වෙලා හින්දද කකුලට බාරයක් ගැටගහන් ඉන්නේ?? "

තරමක කලබලයකට පත්වූ ඈ වටපිට බැලුවාය..

වටින් පිටින් තදකර නොහැකිව පිපිරූ සිනා හඬවල් ඇසෙන්නට විය..


ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා

Wednesday, October 31, 2012

ලෝකේ හරිම අසාධාරනයි

බෑ අම්මේ ඕකව නම් අතාරින්නෙ නෑ
මටත් ඉන්නවනේ යාලුවෝ..

පුතේ මේක මෙතනින් නවත්වන්න..
උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේ

එතකොට පාඩුවේ පාරේ යද්දී
කතා කරල බිම දාගෙන ගහපුවාම
හරිද?

මම වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..

නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි.
"1994 රුවන්ඩා මානව සංහාරයදී
ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,
300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ... වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com)

Monday, October 29, 2012

අනතුර

"බ්‍රේකින් නිව්ස් ඇහුවෙ නැද්ද ? අන්න ප්ලේන් එකක් කඩං වැටිලලු"
රොහාන්...  නිහඬය.
මා සිත ගැහෙන්නට  පටං ගත්තේය. පාලක කුළුනේ සිටින  සොයුරාට ඇමතුවෙමි.
"අද උදේ එයාබෝන් ගිය එක තමා නංගි බය වෙන්න එපා රොහාන්ට කරදරයක් නැතුව ඇති. මං හොයල බලන්නම්."
රොහාන්... දුරකතනයත් නිහඬය.
"මීට සුළු මොහොතකට පෙර සිදු වූ ගුවන් අනතුරින් යානයේ සිටි සියළුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව.... "
මා  අවට ලෝකයම මා වටා භ්‍රමණය වේ. මම මහ හඬින් කෑ ගැසුවෙමි.
"රොහාන්........"
සියොළඟම සීතලය. දහඩියෙන් පෙඟී ඇත. වෙවුලන දෑතින් ගැහෙමින් දුරකතනය ගෙන මා ඔහු ඇමතීමි.
"රොහාන්......"
"ඇයි රත්තරන් මේ...? පාන්දර දෙකයි. ඔයා නරක හීනයක් දැක්කද මගෙ සුදූ මැණික????"     

 ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)

Friday, October 26, 2012

සමනල්ලු

ජයමංගල ගී හඬ මැද්දේ මංගල පෝරුව අසල රෑදී සිටීම මානසික විඩාවකි. ඔහු මා  පසෙකින්ය,  අද ඔහුගේත් මගේත් සිව් අවුරුදු ප්‍රේමය නිමා වේ. ඒ විවාහයකිනි. නමුත්..

පෝරුවේ චාරිත්‍ර නිම කල වහා දැඩි හදිසියක් මවා පාමින් හෝටලයේ වැසිකිලිය දෙසට දිවගියමි. කැඩපත ඉදිරියේ පෙනෙන  මගේ දෙනෙත් කඳුලු බරවී තද රත් පැහැවී තිබිනි. ඒවාට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතුය. සරසවිය පුරාවට අප ඇවිද ගිය තැන්, සති අන්තයේ අප නැවතුනු සොඳුරු ඉසව්වන්. නෙත් මානයේ මැවි මැවි වේදනා මවද්දි දොරට තඩිබාමින් හිරිහැර කරන්නේ කවුදැයි බලන්නට දෙනෙත් පිසදා පිට වුනෙමි.

මොනවද කරන්නේ... අරහේ  උඹව හොයනවා.. මොකද මේ අඬලා.....???  විකාරද උඹට...  ගෘප් පොටෝ එකට බෙස්ට්මන්ව හොයනවා පලයන් ඉක්මනට.

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, October 24, 2012

හිටු කියා බැරිනම් ඉඳු කියා ළමයි හැදීම

ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.

ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.

පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...

ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.

ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'

ඒත් පොඩි එකාගෙ ඇඬිල්ල නැවතුනේ නෑ...

'ඔයත් ඉඳගන්න අනේ...'

ශානිකා සුරංගට කිව්ව. සුරංග ගිහාන් දිහා බලාගෙනම ශානිකා ළඟින් බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු අම්මි තාත්තිත් දැන් බිම. දැන් බයි කන්නකෝ'

සුරංග කිව්වා.

'මරු ළමයි හැදිල්ල.'

ගිහාන් හිතුවා.


ලියා එව්වේ - hare :-)

Monday, October 22, 2012

Adopt a dog

මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර.

ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.

අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් මිනිස්සු මුන්ව පාරට ගෙනත් දැම්මද මන්දා අපි මූව හදාගමු නේද??...

දැන් කවුද මේකව නාවන්නේ, කවන්නේ, පොවන්න, උගේ ජරාව අදින්නේ?

මන් කරන්නම්....

දැන් කොහෙද මූව ගිහින් දාන්නේ කූඩුවක්වත් නැතුව...

ඇයි ඔයාලගේ අම්ම හිටපු එළියේ කාමරේ තියෙන්නේ දැන් ඒක හිස් නේ.

ලියා එව්වේ - නිෂාන්

Friday, October 19, 2012

කාර්තිශා!

ගත දවනා ගිණි අව්වේ
කර්කශ වූ මහ පොළොවේ
අරුම පුදුම ලෙසින් පිපුණ
රෝස පැහැති රෝස මලකි
මටනම් නුඹ
කාර්තිශා…..

ආමි ඇඳුම් දැක ඔරවන
කොළඹ උන්ට සිහන සලන
පුදුකුඩියිරිප්පු හන්දියේ හිඳ
තඹ පෑ දූවිල්ල මැද්දේ
මිදි විකුණන
කාර්තිශා…..

බිත්තියේ ඇති උණ්ඩ පාර
සුළඟිල්ලෙන් හාර හාර
උකුලු මුකුළු සිනා බසින්
“මාත්තියා… මාත් කොළඹ අරං යන්න” 
කියා නුවන් කොණින් බලා
මගෙ හදවත නවතා ලූ
සුරඟන නුඹ
කාර්තිශා…..

“එන්න මාත්තියා ගන්න මේවා”
“යාපනේ තීන හොඳම ඒවා”
කනට කරලා හොර රහසින්
“මේ ගාණට මාත්තියාටමයි”
ඇස් ලොකු කර මදෙස බලා
ඇහැක් ගසා සිනහා පපා
වැඩි ගාණට
තැලිච්ච මිදි
පොකුරු පිටින් මට විකුණුව
දෙව් දුව නුඹ
කාර්තිශා!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.tumblr.com/)

Wednesday, October 17, 2012

මාලය


පිරිමි දහසයක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගි වූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.

වැස්ස. කොළඹ නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.

අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.

“ආ...!“

මේසය මත තිබූ මාලය ගත් ඈ එය මා වෙත දිගු කලාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.

“මොකටද....?“
“අරන් යන්න ...!“
“කොහාටද....?“
“යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.“
“කවද්ද...?“
“ඊලඟ දවසෙ....!“

***********************************************

ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට පසුව එළඹුණි.

මාලය. මම යලි ඇය වෙත පෑවෙමි.

ඇය. වහා පැන මාලය ගත්තාය. ආදරයෙන්. ආශාවෙන්. උනන්දුවෙන්.

“දැන් මට පුළුවනි මෙයාගෙන් අහගන්න ඔයා මං නැති අතරෙ මොකද කලේ කියල.....!“



ලියා එව්වේ - අනිල් (http://wasnthayeaga.blogspot.com/)

Monday, October 15, 2012

රේල් පීලි

රේල් පීලි දිහා හුඟ වෙලාවක් බලාගෙන හිටිය නිසා මට ඒවා පෙනුනේ බොඳ වෙලා. හරියට එකතු වෙලා වගේ. ලොකු කලබලයකින් මගේ වටේට ලෝකය කැරකුනා. කෝච්චි ආවා. ගියා. සෙනඟ ඒවාට නැග්ගා. බැස්සා. ඈත යකඩ කටකින් මොන මොනවාදෝ කිව්වා. මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. පෙනුනෙත් නැහැ. ඊට වැඩිය කලබලයක් මගේ හිත ඇතුලේ පෙරලුනා.

ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ දැනුනා. මං උන්නු බංකුව පිටිපස්සෙන්.

“ඇයි?”

මම ඔලුව නොහරවාම ඇහුවා.

“ආයෙත් සැරයක් මූණ බලන්න. අන්තිම සැරේට.” ඈ ඇහෙන නෑහෙන ගානට කිව්වා. කෝච්චියක් ඇගේ හඬ උදුරා ගත්තා.

මම රේල් පීලි දිහා බලාගෙනම හිටියා.

ඈ ටික වෙලාවකින් යන්න ගිය බව මට දැනුනා.



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

Friday, October 12, 2012

කඩ්ඩ තමා

විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය.

සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.

“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“

“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“

“එහෙමයි“

“ලේසිද?“

“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“

“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“

ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, October 10, 2012

ස්පාන්යෙට පිපින්යා

පෙරේරා රාළහාමි දවසක් ඉබ්බන්වල හන්දියෙ ඩියුටි කරනකොට මෝටර් සයිකලයක් එනවලු කඩාගෙන.
රාළහාමි විසිල් ගහලා බයිසිකලේ නතර කළා.
'මොකද හදිස්සිය? මේ හරියෙ ලිමිට් දන්නෙ නැද්ද?'
'අනේ සර්... පොඩි හදිස්සියක්. එළවලු ටිකක් මරදානට අරං යනවා'
'කොයිතරං හදිස්සි වුණත් නීති රීති තියෙනවනේ... ගන්නව ලයිසන් එක'
බයිසිකල්කාරය ලයිසන් එක දෙනව...
'මොකක්ද නම?'
'ඥාණසිරි'
පෙරේරා රාළහාමි ඔළුව කසන්න ගත්තා. ඥාණසිරිට වැඩේ තේරුණා... දෙන්නම් වැඩේ කියල හිතුව.
'කොහෙද පදිංචි?'
'කොම්පඤ්ඤ වීදියෙ සර්'
'රස්සාව?'
'ස්පාඤ්ඤෙට පිපිඥ්ඥා පටවනව සර්''
'හ්ම්... මේක ගෙවල එනව ලයිසන් එක ගන්න'
රාළහාමි ලයිසන් එක අරං ගියා. දඩ කොලේ ලියල තිබුණෙ මෙහෙම

නම - න්යානසිරි
පදිංචිය - කොම්පන්ය වීදිය
රැකියාව - ස්පාන්යෙට පිපින්යා පැටවීම 


ලියා එව්වේ - hare :-)

Monday, October 8, 2012

සත්ව කරුණාව

ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...
මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...
ඌ කකුලක් කොරගහනවා....

රත්නේ අයියේ ආරංචිද වැඩක්....

ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.

උන්ගේ &^*(^*&....

කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. සුමනේට අත තියන්න උන් කවුද???

පිටින් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ කාලකන්නි හැත්ත.

මන් ඉක්මනට ගිහින් අරූගේ අණ්ඩක් කඩලා එන්නම්....

ළමයෝ අර මේසේ උඩ සල්ලි ඇති, කඩෙන් බිත්තරයක් ගෙනත් හදලා දීපන් ඔය අසරණ සතාට.

ලියා එව්වේ - නිෂාන්

Friday, October 5, 2012

කඳුළු

“ලොකු අය වැටුනේ නැතිවත් අඬනවද අම්මා?”

“ඇයි මගේ පුතා එහෙම ඇහුවේ?”

“අම්මා ජනේලෙන් එලිය බලාගෙන අඬනවානේ .. ඉතින් අම්මා වැටුනේ නැහැනේ ”

“අම්මා ඇඬුවේ නැහැනේ පුතා.. නිකම් වැස්ස දිහා බලාගෙන හිටියානේ”

“වහින එක ගැන අම්මාට දුකද? ඒකද අම්මා අඬන්නේ? ”

“ම්ම්.. නෑ පැටියෝ..”

“අම්මා එපා කියද්දී මම තෙමෙන්න ගිය එකටද? ඔන්න මම ආයෙත් යන්නේ නැහැ! ” 

“නෑ.. නෑ!”

“එහෙනම් මගේ බෝට්ටුව ගහගෙන ගිය එකටද අම්මා අඬන්නේ? අයියෝ අපි තව එකක් හදමු!”

“....!”

“එහෙනම් අර කුරුළු පැටව් තෙමෙන එකටද අම්මාට දුක? අර අපි උදේ පාන් කෑලි දුන්නේ ...”

“ඔව්.. පුතේ, අම්මට ඒකට තමයි දුක හිතුනේ ... අම්මා ආයෙත් අඬන්නේ නැහැ හොඳේ"



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

Wednesday, October 3, 2012

පාට දෙකේ මනාලිය

මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.

පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං ‍පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.

ගීතිකා ‍ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.

ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා මනෝජුත් ලෑස්ති වුණා. එයා එයාගෙ රතු කමිසෙ ඇඳල ‍කෝට් එක උඩින් දැම්ම. රතට හුරු දුඹුරු සපත්තු දෙක හොයන්න බෑග් එක පෙරළුවා.

පොටෝග්‍රැෆර් ළඟට ආව.

'මේ මිස්ට, ඔයා වෙන එකක් ඇන්දෙ නැතිවට කමක් නෑ. බ්‍රයිඩ් රතු ඇන්දම ඇති.'

ලියා එව්වේ - hare :-)

Monday, October 1, 2012

(අ) නුවණැති පුරෝහිතයා

එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙ මඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇති උනේ.
ඒ අතීත කතාව,
ඒ කාලේ අපි නුවණැති පුරෝහිතයට අත්පුඩි තැළුවා.
ඒත් අද හිතෙනවා,
ඒ මෝඩ පුරෝහිතය එහෙම නොකීවනම්,
එදා වේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ කකුල් වලත් මඩ බිංදුවක් වත් නොගෑවෙන වර්තමානයක් අපිටත් උරුම වෙන්න ඉඩ තිබුන කියල.

 ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Friday, September 28, 2012

ඔහු සහ ඇය

"නංගි එයා මාව දාලා ගියා"
උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා.
"එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."
මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා.
"අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"
මගේ නොඉවසිලිමත් සිත වචන වුණා.
"මට දරා ගන්න බෑ නංගි."
මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා.
"එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි"
"කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ."
"අනේ එයාට බනින්න එපා නංගී."
ඒ ආදරේ මගෙ හිත සීරුවා.
"ආපහු එයාව මට ලැබෙනව නම් මම පුලුවන් හැම දේම කරල එයාව රැක ගන්නවා."
ඔහු කියාගෙන යනවා.
මම..... ඔහුගෙ පෙම්වතී සොරකම් කල පෙම්වතාගෙ පළමු පෙම්බරී

 ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)

Wednesday, September 26, 2012

කාන්තා විමුක්තිය...


එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.

මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ලෙඩ නිවාඩු හැටියට. ක්‍රීඩා වල ගැහැණු පිරිමි කියලා වෙනම තරග තිබ්බේ නැති නිසා එයාලට කිසිම තරගෙකින් දිනන්න බැරි උනා.

අන්තිමට ගෑණු කාන්තා සංවිධාන හදං පාරට බැස්සා. තමන්ට පුරුෂයන් හා සම තැනක් එපා කියලා. තමන්ට සමාජේ නිසි තැනක් ඕනෙය කියලා.



ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Monday, September 24, 2012

පැවිද්දෙක් දුටිමි

දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.

ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය කර ගත් ඒ රුව තුල පැවතුනේ පුදුමාකාර ප්‍රසන්න පෙනුමකි. ශාන්තියකි !

උන් වහන්සේ කැලණිය දුම්රිය ස්ථානයෙන් බැස යන තුරුම මා උන් වහන්සේ දිහා ඇසි පිය නොහෙළා බලා සිටියා යැයි වැටහුණේ එවිටය. කිසිදු දිනෙක එතරම් ශාන්තියක් මා සිතට දැනී නොමැත.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, September 21, 2012

වනලැහැබ අසබඩ විල්තෙර


සඳවතිය සිල්ගත් රැයක  වන ලැහැබක් අසබඩ විල් තීරයක තනිවුනෙමි.

චන්ද්‍රකාන්තියෙන් ආලෝකමත් වන ලැහැබ නෙක දසුන් මවයි. වන මෘගයින් නිදනා හෝරාවේ මුවන් සාවුන් විල් තීරයේ වැතිර සඳ එළිය ස්නානය කලෝය.

ස්වර්ණ හංසයින් විල්දිය මත පිහිනා සතුටු වෙති. රුදුරු යැයි සම්මත වන මෘගයින්ද නිසල හොරාවේ වැඳිරියන් හා රමණයේ යෙදෙන සර්පයෙකුද විල්තෙරෙහි සතුටු වන සිව්පාවුන්ට සමච්චල් කරද්දී සාවුන් මුවන් අසරණව බලා සිටියෝය. ඒ දර්ශණය සිව්පාවන්ට විකාරයක් වුවා සේම අප්‍රිය ජනක විය.

රැය ගෙවා දමමින් සඳවතිය වියැකෙද්දි, අවිහිංසක සිව්පාවුන් වන ලැහැබේ සැඟවී ගත්තේය. වන මෘගයින් විල් තෙරට බට කල වැඳිරියන් පලා යත්ම, මාන බලමින් සිටි උකුස්සෙකු සර්පසා ඉලක්කර කර ඊයේ වේගයෙන් විල්තෙරට පහත් විය.




ලියා එව්වේ - නිෂානි

Wednesday, September 19, 2012

අපේ ආදරය

අදුරු මගෙ සිත් අහසම
එලිය කලා ඔබ නොසිතුව විලසට
දහසක් සුන්දර හීන ගොඩක් මැද
අපෙ ලොව තනන්න පැතුම් පතමි මම

නොදකින මුත් ඔය රුව මා නිතරම
සිතින් ඔබේ ලග තමයි සෑමවිට
ඉදහිටලා හෝ හමුවන විට අප
දවස ගෙවෙනවා පුදුමයි නොදැනිම

මා කියනා ලද බොලද වදන් ගැන
ඔබ හිනැහීලා විහිලු කරන විට
දුකින් මනෙතු තෙමෙනා විට හනිකට
මා සනසන හැටි කොතරම් සොදුරුද

ආවත් බාධක කොතරම් අපහට
දරා ගනිමු අපි ආදරෙ හින්දම
ආලය වෙනුවෙන් හැම දුක් විදිනට
පුලුවන් බව පෙන්වමු අපි ලෝකෙට

කලකට පසු ඔබ මා හමුවට එන
දිනය ලගයි අතැගිලි ගනිනෙමි මම
ඔබේ අතින් අල්ලාගෙන එදිනට
දලදා වදින්න යමු අපි දෙන්නම


ලියා එව්වේ - චතූ

Monday, September 17, 2012

ජාතික ගීය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අවසානයේදී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය. එහි සතුට සැමරීම සඳහා  කාර්යාලයේ සේවකයින් සියළුම දෙනාට පසු දින උදයේ දහයට කාර්යාල භූමියට  පැමිනෙණ ලෙස වසර ගනණක් ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු කළු සුද්දකුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබුණේය.

දහයට විනාඩි පහක් තියා කාර්යාල සේවකයින් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමිය තුළ එක් රැස්ව සිටියහ.

මෙය දුටු කළු සුද්දාට තම දෑස් පවා අදහාගත නොහැකි විය. ඔහුගේ සතුට උතුරා ගියේය. ඔහු විනාඩි පහක  හැඟුම් බර ඉංග්‍රිසි ස්තූති කථාවක්ද පැවැත්වූයේය. එයට ලංකාවේ හැදී වැඩුණු කළු සුද්දියන් කීපදෙනෙකුද සිටියහ.

වේලාව හරියටම දහය විය. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික ගීය කියන්නට කට හැරියේය.

“ශ්‍රි ලංකා මාතා........”

ඔහු බිම බලාගෙන කාර්යාලය තුළට වැදුණේය.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, September 14, 2012

ස්වතන්ත්‍රතාව

ඇසිපිය ගසමි,
ඔබේ ඇසිපිය කෙලවර සීමාවට මෙපිටින් සිට
සිත්සේ ගැඹුරු සුසුම් හෙලමි,
ඔබේ සුසුමක අවකාශයේ පරිමාවට අංශු මාත්‍රයක් මෙපිටින් සිට
දෑත් දෙපසට විහිදුවමි,
ඔබේ නාසයේ කෙලවරට සෙන්ටිමීටරයක් මෙපිටින් සිටින්නට

ඒය මාගේ නිදහස බව ඔබට පිලිගන්නට සිදුවේවි!!

ආදරණිය පාඨකයිනි, මම ඔබේ අදරණිය ලේඛකයා ලෙස මෙලෙස කියමි.
අසන්නට
දකින්නට
බලන්නට
සිතන්නට
ගොතන්නට
ලියන්නට

මා ලැබු සුචලනය පෑන් තුඩින් පිට කරමි, සහ එය ඔබේ දැන ගැනීම පිනිස ප්‍රකටීකරණය කරමි.

කියවන්නට
දැනගන්නට
තේරුමගන්නට
අභිනන්දනයට
පරිවාදයට
එකඟත්වයට
විවේචනයට
විතර්කයට
ආක්‍රෝශයට හෙවත් පරිභවයට

ඔබට අති විශාල අයිතියක් ඇත.
හේතුව අසා ඔබ ආඩම්බර විය යුතු මනාය. ආදරණිය පාඨකය, මාගේ ලේඛනයේ මෝක්ෂය ඔබගේ වාග්පරිචයේ මොක්ෂයට අනුලෝමව සමානුපාතික වේ.


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, September 12, 2012

Device Found

නාඳුනන පද්ධතිය වෙත,

සම්බන්දතාවයක් ගොඩ නඟා ගැනීමට සුදුසු පද්ධතියක් search කල මට ඔබේ පද්ධතිය
හමුවූ බව දැනුම් දෙමි.

නමුත් සබඳතාවය ගොඩනැගීමට පෙර ඔබට ගිනි තාප්පයක් සහ Virus Guard  එකක්
යටතේ පරීක්ෂාවකට ලක් වීමට සිදු වනු ඇත.

මා සතු ආදරය කරුණාව වැනි මිලාධික මෘදුකාංග ඔබට ලැබෙනු ඇත.

ඔබේත් මගේත් දෘඩාංග පොදුවේ භාවිතා කල යුතුයි.සබඳතාවය ඕනෑම වේලාවක විසන්දි
කිරීමට හැකියාව තිබේ. යම් අලාභයක් ලබා ඇත්නම් එය තනිව විඳිය යුතුයි.

මෙම සබඳතාවය "ආදරය" ලෙස නම් කලහොත් ඔබ පෙම්වතිය ලෙසත් මා පෙම්වතා ලෙසත්
හැඳින්විය හැකි වනු ඇත.

කොන්දේසිවලට එකඟ නම් කරුණාකර ඉල්ලීම පිලිගන්න (Please Accept the Request)

අදාළ නොවේ නම් නොසලකා හරින්න. (Ignore All)

ලියා එව්වේ - මන්දාරම ( http://mandharama.blogspot.com )

Monday, September 10, 2012

පෑන් කේක්


බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට  පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.

ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.

එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් වල පෑන් කේක් බෙදමින් එමින් සිටියාය. මොහුටද පිඟානක් ලැබුණි. මොහුද හරි බරි ගැහෙමින් පෑන් කේකය කටේ ඔබා ගන්නට සිතා අතින් එය ගන්නට සැරසුණි. එහා අසුනේ සිටි තැනැත්තා පෑන් කේකය දිග හැර එක් වරක් ගසා තම මූණ පිසදා ගත්තේය.



ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, September 7, 2012

බ්ලීචිං ක්‍රීම්

සති අන්ත පුවත් පතක මංගල යෝජනා තීරය කියවීම විනෝදයකි, විවිධ තරාතිරමේ මනාලියන් හා මනාලයින් පිළිබඳ යෝජනා කියවමින් අවිවාහක අප විහිලුවට ලක්කරීම මිතුරියන්ගේ සුපුරුදු විනෝදාංගයකි.

“මට හොයන්න වයස 60ක විතර සල්ලිකාරයෙක්” විහිලුවට මෙන් කියමින් මාද ඔවුගේ විනෝදයට එක් වුනෙමි.

“බඳිනකල් ශේප්එකේ ඉන්න , මිනිහට සතුටටම හාට් ඇටෑක් හැදෙයි ඔයාව දැක්ක ගමන්” ඔවුන්ද සරදම් කලෝය.

“ ඒකනේ වෙන්න ඔනි... ඉක්මනට අන්තිම කැමැත්ත මගේ වාසියට ලියව ගන්නවා”
අප සියල්ලෝම සිනාසුනෙමු.

“මේකේ තියෙන්නේම සුදු දියණියන්ට මංගල යෝජනා. .. ආසාවට තලෙලු අයට මඟුල් යොජනාවක් නෑ”

“සුදු ලස්සනම පුතුට හැබෑම ලස්සන සුදු දියණියක්!! හම ගහන්න තමා වෙන්නේ කෙල්ලන්ව”

කියමින් අනෙක් පිට පෙරලීමි.

දැන්වීමක්
XXXX බ්ලීචිං ක්‍රීම්


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, September 5, 2012

ක්ලියෝපැට්රා

“මෙහෙම.. මේ ඇලේට.. ඔයාගේ දිහා බලන් ඉන්නකොට මට කතාවක් මතක් වෙනවා..”

“කතාවක්!!.. කියන්නකෝ..!!”

“ක්ලියෝපැට්රාටත් දිග නහයක් තිබ්බා ලු නේ..”

“ ‘ත්’ කියන්නේ.. තව කාටද දිග නහයක් තිබ්බේ?”

“නෑ.... මේ.. මං කියන්නේ... ක්ලියෝපැට්රා ට දිග නහයක් තිබ්බා නේ..”

“ඉතින්?”

“ඉතින් ජුලියස් සීසර් ඒ නහයට වහ වැටිලාලු හිටියේ..”

“නෑ?”

“නෑ.. නෙමෙයි ඔව්!.. රාජධානි පවා පවරලා දෙන තරමේ පිස්සුවෙන්ලු හිටියේ..”

“ඔයාට කිව්වද?”

“නැහැ.. මට දැන් තේරෙනවා සීසර්ට පිස්සු හැදුනු විදිහ.. ඒකයි”

“ඒ කොහොමද?”

“මටත් දැන් ටිකක් පිස්සු වගේ..”

“වෙනදා තිබ්බාට වැඩිය?”

“ඔව්.. නිකම් රාජධානිය පවරලා දෙන්න හිතෙනවා..”

“කොයි රාජධානියද?”

“අන්න.. අන්න... ඒක නෙමෙයිනේ අහන්න ඕන.. කාටද කියලානේ!”

“මම දන්නවනේ කාටද කියලා..”

“කාටද?”

“ක්ලියෝපැට්රාට!”



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

Monday, September 3, 2012

ත්‍රිපුද්ගල කමිටුව

මුලින්ම කියන්න ඕනේ මේක මම හෝ වෙනත් කෙනෙක් දැකපු හීනයක් නොවන බව.

මම මේ පොඩි පහේ රස්සාවක් කරන්, බ්ලොග් එකක් ලියාගෙන ඉන්න මිනිහා. කිසිම හේතුවකට කාටවත් පහර වදින දෙයක් මගේ බ්ලොග් එකේ ලියන්නේත් නෑ. එහෙව් එකේ අහවල් එහෙකටද ත්‍රිපුද්ගල කමිටුවක්.

මට කියල හතුරොත් නෑ. ඒත් දැන් ඉතිං මුහුණ දෙන්න වෙනවනේ. ඕව මේව කල්පනා කර කර ඉඳල හරි යන්නෑනේ.

තුන් දෙනාගේන් පළවෙනිය මට ඇටෑක් කරන්න පටන් ගත්තා. නිකම්ම හිටියොත් හරි යන්නැති නිසා මමත් ඇටෑක් කලා. ඊලඟට දෙවෙනිය. තුන්වෙනියාත්.

කොහොමින් කොහොමින් හරි  තුන් දෙනාවම නිහඬ කලා.

තුන්දෙනා කවුද කියල මට කියන්න බැරි වුනානේ. වෙන කවුරුවත් නොවේ මදුරුවො තුන්දෙනෙක් මගේ නෙට් එක ඇතුලේ. 


ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Friday, August 31, 2012

සුදුවත ඇඳි කත

බෙල්ලන්විල පන්සලේ පෙරහැරට පාසල් රතු කුරුස සංගමේ ශිෂ්‍යයින්ට රාජකාරි පවරා තිබුණි. ශිෂ්‍යයින් දෙදෙනකු පමණක් විහාර භූමියේ තබා අන් සියල්ලෝම උත්කර්ෂවත් අන්දමින් ඇරඹුනු පෙරහැරේ ගියහ.

රාත්‍රී දොළහමාරට පමණ සුදු වස්ත්‍රයකින් සැරසුණු කාන්තාවක් අතේ කපුරු කැබැල්ලක්ද දල්වාගෙන ශිෂ්‍යයින් දෙස නොබලා උන් පසු කරමින් විහාර භූමිය තුලට ගියාය. කොලුවන් දෙදෙන ඔවුනොවුන්ගේ මුණූ බලා ගත්හ. උන්ගේ සිත් චකිතයකින් වෙලුණි.

විනාඩි කීපයකට පසු හතර පස් දෙනෙකු මොවුන් සිටිනා දෙසට දිව ආහ.

"පුතා මේ පැත්තට ගෑණු කෙනෙක් එහෙම ආවද?"

"ඔව් අංකල් අර පැත්තට ගියා." එකෙකු තම ඇඟිල්ල දිගු කර ඇය ගිය දෙස පෙන්නුවේය.

"හොඳ වෙලාවට තව ටිකෙන් ඉවරයි."

"ඇයි අංකල්?" එකෙක් ඇසුවේය.

"එයාට යකෙක් වැහිලනේ පුතා"


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, August 29, 2012

ලොතරැයි කොලුවා

“පුතේ මේකට දිනුමක් තියෙනවද බලන්න”

මෙසේ සතියකට සැරයක් තමන් කලින්දා මිළදීගත් ටිකට්පත දික්කරන මේ මැහැල්ල ලොතරැයි කොලුවාට ආගන්තුක අත්දැකීමක් නෙවෙයි…

“නෑනේ ආච්චියේ…”

හැමදාම පාහේ මේ ආකාරයට පිළිතුරු දෙන ලොතරැයි කොලුවා හිස් ටිකට්පත ඇයට ආපසු දෙන්නේ ඇයගේ මැලවුණු මුහුණ මගහරිමින්…

නමුත් මෙදින ලොතරැයි කොලුවාට වෙනස් දවසක්… මැහැල්ලට පිළිතුරුදීමට වෙනදාට වඩා කාලයක් ඔහු ගතකලේ එහෙයින්… තමා මේ කරන්නට යන්නේ සුදුසු දෙයක්ද, ඔහු තමන්ගෙන්ම විමසුවා… මැහැල්ල තරම් නොවුනත් තමනුත් අන්ත දුප්පතෙක්… අවසන ඔහු තීරණයට එළඹුණා…

“ඔන්න යන්තම් අද දාහක් තියෙනවා… මෙන්න සල්ලි”

“අනේ ඇත්තද පුතේ…”

දෝතින්ම තමා දුන් මුදල ලබාගෙන සතුටු සිතින් නික්මයන මැහැල්ල දෙස ප්‍රීතිමත් නෙතින් බලාසිටි ඔහු ටිකට්පත කුණු කූඩයට විසිකලා…


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, August 27, 2012

හඳට ගල් ගහමු

Effort යනු කුමක්ද? සරලව ගත්තොත් ආයාසය නොඑසේනම් තමන්ගේ උපරිම හැකියාව පෙන්වීමට ගන්නා උත්සහය. ආයාසය මැනීම සඳහා ඔබ සතු ගුනාංග දෙකක් වැදගත් වේවි.

capability හෙවත් හැකියාව

capacity හෙවත් ශක්තිය

තමන්ගේ උපරිම ආයාසය පෙන්වීමට කල හැකි උපරිම දෙය කැමක්ද? .

උදාහරණයක් ලෙස, ඔබට කොපමණ දුරකට ගල් කැටයක් වීසි කල හැකිද?
උස් ගසක දල්ලට
වලාකුලක් සමීපයට
ලයිට් කණුවක මුදුනට
උස් ගොඩනැගිල්ලක මුදුනට
නැහැ. ඔබේ උපරිම ශක්තිය මැනිය යුත්තේ ඒ කිසිම ආකාරයකින් නෙවෙයි.
වීසි කරන ගල් කැටයේ මානය විය යුත්තේ අන්කිසිවක් නොව සඳයි. ඔබ සඳ දෙසට වීසි කරන ගල් කැටය අඩු තරමේ අහසේ උපරිම දුරට යනු ඇත. ඒ ඔබේ ආයාසයේ නිවැරදි මිනුම වනු ඇති.


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, August 24, 2012

අනාගත මුණුබුරා

"ඉස්සර අපේ රටේ හිටියා පුතේ C.W.W.W. කන්නන්ගර කියලා මහත්තයෙක්. මේ මහත්තයා හැම ළමයෙකුටම එක සමාන විදිහට අධ්‍යාපනය දෙන්න ඕන කියලා හඬක් නැගුවා. අන්න ඒ මහත්තයාට පින් සිද්ද වෙන්න ඒ දවස්වල අපි ඉගෙන ගත්තා පුතේ තඹ සතයක් ගෙවන්නේ නැතුව. ඒ කාලේ ගුරුවරු අපිට උගන්නපු අකුරක් අකුරක් ගානේ ඉගැන්නුවේ කිසිම ගුරු පඬුරක් ගන්නේ නැතුව. හොඳට ඉගෙන ගත්තු ළමයා සල්ලි නැතත් ඉහළට ගියා අනිත් ළමයි පහළට ගියා. සල්ලි හේතුව කරගෙන නිසා කිසිම ළමයෙක් ඉහළ පහළ ගියේ නෑ. ඒත් ඉතින් ළමයි ඉගෙන ගන්න තරමට උසස් අධ්‍යාපනයට පහසුකම් දෙන්න රජයට බැරි උනා. අන්න ඒකයි......"

"අනේ ආත්තම්මේ stop it please, මම සුරංගනා කතා වලට කැමති නෑ"

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Wednesday, August 22, 2012

නාකි සීයයි මමයි

දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...

අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...

මට නිකමට හිතුණ.

ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.

ඒ වුණාට ඒක කරන එක ඒ හැටි ලේසි වුණේ නෑ. හැමදාම සීයට ටිකක් වැඩි වුණා. අමාරුම වැඩේ ලියාගෙන ගිහින් පස්සෙ ට්‍රිම් කරන එක.

ඒත් ඒ දවස්වල ඒක සෑහෙන ආතල්ජනක වැඩක් වුණා.

ඒ ඉස්සර...

දැන් ලියන්නෙ මේක...

වචන සීයක් පිරෙන්න ලියාගන්න තියෙන අමාරුව...

ලියා එව්වේ - hare :-)

Monday, August 20, 2012

සීයා

දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.

දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි මුහුද දෙසට හැරී එදෙස බලා සිටියෙමි.

එක් තත්පරයකට මාගේ දෑස් හිඟන සීයා ලඟ නතර විය. එම සීයා තම කදුඵු පිස දමමින් හඬනායුරු දුටුවෙමි. මා කොල්ලුපිටිය දුම්රියපොලෙන් බසින්නට පෙර අතේ තිබුණු සොච්චම ඔහු අතට දී ඔහු දිහා නොබලාම බැස ගියෙමි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, August 17, 2012

බොරැ කාරයා

අදත් බොනවද?

අනේ අද විතරක්.. Please...

ඔය අද විතරක් කියන කීවෙනි වතාවද?

අද විතරයි..හෙට නම් බොන්නෙම නෑ...

ඔයාගෙ ඔය හෙට කවද්ද එන්නේ? මේ ආත්මෙදි එනවද?

ඇත්තමයි සුදූ... Promiss..

තව බොරැවට දිවුරන්නත් එනවා.. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඔයාට?

හරි. අදට විතරක්..අපරාදෙනේ ගෙනාපු එක..

පුච්චන සල්ලි අපරාදෙ නැද්ද?

මම ඔයාට ආදරේනේ...

ඔයාට මට තියෙන ආදරේ මතක් වෙන්නේ ඔය වෙලාවට විතරයි.ඕන කෙහෙල්මලක් කරගන්න.
මම යනවා නිදා ගන්න.

––––––––––––––––––––––––––––––––––––––––––

ඔයා තරහින්ද ...?

හ්ම්...

හරි හෙට බොන් නෑ.. දැං එන්නකෝ ළගට..

ඔයා හරි නරකයි. දැං අවුරැදු කියක් බොරැ කිව්වද?

ම්ම්ම්...මම ඉක්මණට නවත්තන්නම්..

තවත් බොරැ කියනවා.. මොන කෙහෙල්මලකට මම ඔයාට තාමත් ආදරේ කරනවද මන් ද???
 
බොරැ කාරයා.......
 
ලියා එව්වේ - Hiru (hirunethihorawa.blogspot.com)

Wednesday, August 15, 2012

උපාසකම්මා...

ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය.

"සාදු... සාදු..."

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස...."

"හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."

ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය.

"හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."

ඇමතුම විසන්දි කෙරුනි..

"බුද්ධං සරණ්ං ගච්චාමි..

ධම්මං සරණ..."

"හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ.."

"හෙලෝ.. තෝ දැනගනින් @#$%$ මම පදියතලාවේ මේරී.. තෝ මට අහුවුනොත් තොගේ හතරහන්දි කඩලා මෙතනම බාවනවා වල් බල්ලා.."

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කෙරුනි...

"පානාති පාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි" 

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Monday, August 13, 2012

ලෝක බොරුව

අපේ අම්මා මට කියන හැම දේම එයා මම කාලේ එයා ඒ විදිහටම කරලාම තියෙනවාද?

අපේ තාත්තා ලෝකේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා මට කිව්වට,
එයා ඒ විදිහටම ඒ කාලේ හිටිය කියල කාට හරි ෂුවර් එකටම කියන්න පුලුවන්ද?

අපේ සර් කියන බයිලත්, එයා කරලා පෙන්නනන්නේ අපි ඉස්සරහදී විතරයි කියලා,
මමයි සර්රුයි දෙන්නමත් දන්නවා....

අනික මේ ඔක්කොම කියන දේවල් ඒ විදිහටම කලේ නෑ කියල ඔය උඩදි කියපු උදවියට,
මේ පොලොවේ පයගහල ඉන්න බැරි වුනාද?

ඉතින් මම දැන දැනමත් මෙහෙම වෙන ලෝකෙක ඔය කවුරුත් කියන නිසා......
මේ වෙලාවේ මම විඳින ඒ සතුට නැති කරගන්නේ මොන මගුලකටද?

තවත් කියන්න දෙයක් නෑ වචන හතයි මදි වුනේ...


ලියා එව්වේ - නිසල

Friday, August 10, 2012

කෝපි

කෝපිහලේ ජනේලෙන් එළියේ තියෙන ගහේ කහ ගැහුණු කොළ තව ඉතිරිවෙලා තියෙන්නේ අහුරයි. ඉඳහිට එන තද හුළං රැල්ලකට ගහ එයිනුත් එක කොළය බැගින් දන් දෙනවා. එක සීරුවට වහින වැස්සේම මිනිස්සු ඉක්මන් ගමනින් ඒ මේ අත යනවා. කෝපි කෝප්පෙන් නඟින දුම් රැල්ල බොහෝම නිර්භීතව ටික දුරක් පාවෙලා ජනේලේ හරියේදී අතුරුදහන් වෙනවා. දෙන්නෙකුට එක කෝපි කෝප්පයයි. හවුලට නෙමෙයි.. මම කෝපි නොබොන නිසා.

“You don’t drink coffee?” අපේ ඇනවුම ගත්තු ගෑනු ළමයා හිනාවෙලා මගෙන් ඇහුවා. “It’ll warm you up!” ඇගේ පෙරැත්තය නිසා නැඟුණු සිනහව අතරින් මා එය ප්‍රතික්ෂේප කළා.

“It’s Ok..” මගේ කර වටා වැටුණු ඔහුගේ බාහුවේ උණුහුම මට දැනුණා. “I’ll keep her warm!”

ලියා එව්වේ - මලිති විජේසේකර (http://sahaspiyawara.blogspot.com.au)

Wednesday, August 8, 2012

ඔයා.....

ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.

1.හැම  කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?

2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?

අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට  කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ වගේ කෙනෙකුගේ හිත නපුරුකම් කරලා රිද්දන්න එපා. සමහර විට ඔයාව දාලා යන්නත් ඉඩ තියෙනවා. එදාට ඔයාට නැති වෙනනේ මේ ලෝකේ ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනා වෙන්න පුලුවන්. මතක තියා ගන්න අවංක ආදරයක් ලෝකේ හොයා ගන්න අමාරුයි කියලා

ලියා එව්වේ - මුතූ

Monday, August 6, 2012

දේශපාලන විසඳුම

බලාපොරාතුත් පරිදි මෝසම් වැසි නොලෑබි යාමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ දින වල පවතින නියඟය හේතුවෙන් ගොවි ජනතාව බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටී. මේ පිළිබඳ අප කල විමසීමකදි ගොවි මහතුන් කියා සිටියේ තමාට රජයෙන් හෝ කිසිඳු සහනයක් නොලැබෙන බවයි.

අපි යල මහ දෙකෙන් ජීවත් වෙන මිනිස්සු අපිට ගොවි තැන් නැතිනම් ජීවත් වෙන්න වෙන විදියක් නෑ. අපි බලාගෙන ඉන්නේ රජයෙන් දේශපාලන විසඳුමක් දෙනකල්
-ගොවියෙක්-

රජරට පැත්ත වේලිලා. මේ ගොලේලෝ රට සවාරියේ. මම අහන්න කැමතියි කෘෂිකර්ම ඇමතිගෙන් මොනවද නියඟයෙන් අවතැන් වූන්ට දෙන සහනාධාර?
-විපක්ෂය-

රජරට වේලිලා. වැස්ස නැහැ. අපිට මිනිස්සු විඳින දුක දැක්කාම ඇස් වලට කඳුලු පිරෙනවා . ඇත්තටම ඇඬනවා!
-රජයේ ඇමති-

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, August 3, 2012

පීරගෙ ලබ්බ!

කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා.

මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි.

ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය.

අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට.

ලණුව අඩි දහයක් විතර දිගයි. කොට්ටාව හන්දියෙන් පාර මාරුවෙද්දි පාර හරහාම ලණුව.

හයිලෙවල් පාරෙ වේගෙන් ආපු බයිසිකල්කාරයො හතර දෙනෙක් ලණුවෙ පැටලිලා බිම.

‍එදා බයිසිකල් රේස් එකක්.

පොළිස් කාරයෙක් ආවා.

‘ඔය ලබ්බ ගනින් යකෝ අහකට’ පොරට මළ පැනලා.

එදා ඉඳන් පීරගෙ ට්‍රේලට කියන්නෙ පීරගෙ ලබ්බ කියලා.


ලියා එව්වේ - hare :-)

Wednesday, August 1, 2012

නයා

“මේක හරියයිද..? ෂුවර්ද..?”

“අනිවා බොස්! ටෙස්ට් කරලා තියෙන්නේ…”

ෆාමසියෙ කැහැටු කොල්ලා විශ්වාසෙටම කියපු නිසා නොවෙන්න පොඩිරත්න ආයෙමත් ඔය බේත් ගන්නේ නෑ කියලමයි හිතාගෙන හිටියේ…

අන්තිම පෙත්තත් ගත්ත පොඩිරත්න තවපාරක් මැනලම බැලුවා… අඟල් තුනයි තව පොඩ්ඩයි… නූලකවත් වෙනසක් නෑ…

“මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි එකපාර මේ පෙති ගොඩක් බීලා මැරිලා යනවා…” එහෙම හිතපු පොඩිරත්න තිබුන සල්ලි ටික ඉවර වෙනකල්ම ටවුමේ ෆාමසි වලින් ඒ පෙත්ත ගත්තා…

පහුවදා විනාශ වුණු නගරේ මැද ඉඳන් සජීවීව ගෙනෙන ප්‍රවෘත්ති විකාශය අහන්න පොඩිරත්න ජීවත් වෙලා හිටියේ නැහැ…

“ඇනකොන්ඩෙක්ද, පිටසක්වල ජීවියෙක්ද හරියට කියන්න බෑ.. බිල්ඩින් කඩා බිඳගෙන ඇදිලා ගියා… තනිකඩ මනුස්සයෙක් ජීවත්වෙන බෝඩිං කාමරේකින් තමයි සතා මතුවෙලා තියෙන්නේ…”

ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, July 30, 2012

විශ්වාසය..

"මේ බලහං බං අද පත්තරේ තියෙන ප්‍රවෘත්තිය. තමන්ගේ ළමයා අසනීප උනාම ලෙඩේ දෙයියෝ හොඳ කරනකං කියලා ගෙදර තියාගෙන ඉඳලා. අන්තිමේ අසනීපේ හොඳටම වැඩි වෙලා ළමයා මැරිලා. අනේ හැබෑට මෙහෙමත් මෝඩ දෙමව්පියෝ ඉන්නවනේ හැබෑට."

වසන්ත මාත් එක්ක ඔය කතාව කිව්වේ මීට මාස තුන හතරකට කලින්.
දවස් තුනකින් විතර වසන්ත වැඩට නාව නිසා මං කෝල් එකක් ගත්තා.

"මොකෝ බං මේ දවස් ටිකේ වැඩට නාවේ. මොකුත් කරදරයක්ද?"

"අනේ බං මගේ ළමයා අසනීප වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. සාත්තර කාරයෙක් කිව්වා අපලයක් නිසා කියලා. අපලේ හොඳ වෙන්නනං ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතුකරලා ඒ සල්ලි වලින් භාරයක් වෙන්න කිව්වා. මේ දවස් වල ඒවට දුවනවා බං හතර වටේ."

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Friday, July 27, 2012

වැඩ කෑල්ලෙන් වැඩක් නැත

Unknown Number Calling....

හෙලෝ...

.....

හෙලෝ කව්ද කතාකරන්නෙ?

ඔයා කොට්ටාවෙද?

නෑ වැරදීමක් වෙලා

එහෙනම් කොහෙද ඔයා?

මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.

ඔයා කොහෙද කියන්නකො

කතාකරන්න ඕනි කෙනාගේ නම කියන්න කරුණාකරල. මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.

නෑ ඔයාටයි කතාකරන්නෝනි.

මාව දන්නවද? තමුන් කව්ද?

දන්නෑ දැනගන්න ආසයි.

(හිතෙන්...) හිටපන් උඹට දනවන්න මං කව්ද කියල මේක කට් කරල.
Received calls > Unknown Number > Set as rejected.
හොඳ වැඩේ. ආව මෙතන මාව දැනගන්න. හොඳ වෙලාවට ෆෝන් එකේ ඒ වැඩකෑල්ල තිබ්බෙ.
ම්... ආයෙත් Unknown Number එකක්.
හෙලෝ...

හෙලෝ මං මේ වෙන නම්බරේකින් ගන්නෙ අරක වැඩකරන්නැහැනෙ. ඉතිං කියන්නකො ඔයා කොහෙද?

ෂික්!

ලියා එව්වේ - මගේ ජීවිතය

Wednesday, July 25, 2012

මගේ පෙම්වතා

කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා

දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා

කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම

දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය

ලියා එව්වේ - චතූ

Monday, July 23, 2012

සෙනෙහෙ බර අයියණ්ඩි


"මගේ නංගීට රස්සාවක් ලැබුණා. ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්වත් නෑ නෝනාගේ පරණ අඳින්න පුලුවන් ඇඳුමකුයි සෙරෙප්පු ජෝඩුවකුයි තියෙනවා නම් මට දෙන්න, පිං සිද්ද වෙයි." හරිම දුක් මුසු ලීලාවෙන් ඔහු කියවගෙන ගියා.

 පරණ අඳින්න පුලුවන් ඇඳුම් ටිකක් මං ඔහු අතට දුන්නා.

නෝනා මට ගෙදර යන්න කීයක්වත් නෑ. කීයක් හරි දෙන්න පුලුවන්ද?"

"මගේ ළඟ දෙදාහේ කොළයක් තියෙන්නේ මාරු සල්ලි නෑනේ. මාරු කරලා ගෙනත් දෙනවා නම් මං දෙන්නම්."

දෙන්න  මං මාරු කරලා ගෙනත් දෙන්නම්. දැං කාලේ  ඉන්න හොරු නිසා අපි වගේ දුප්පත් අහිංසක මනුස්සයෙක්ටවත් මිනිස්සු කිසි දෙයක් දෙන්නේ නෑ.

ඔහු ඉවත් වීමට පෙර මෙසේද කීවේය.

"නෝනා, මං ගියාට පස්සේ දැන ගනීවී මං කවුද කියලා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, July 20, 2012

තිඹිරි ගෙය

බටහිර ඉවුරේ දුශ්කර ගම්මානයක මීට දශක ගනනාවකට පෙර දිනයකි, එවකට මා ජීවිතය උගනිමින් උන් ළදැරියකි. බැටළුවන් දක්කාගෙන  තණ පිටියට ගොස්  නැවත පැමිනෙමින් සිටියෙමි. කවදත් ගුප්ත නිහැඬියාවක වෙලී තිබුණු නිවස  දෙසින් වේදනාකාරී කෙඳිරියක් ඇසුණි. මද විවේකයන් ගනිමින් නොනවත්වා ඇසුනු කෙඳිරිය ආසා හිඳින්නට තරම් සිත සවිමත් නොවුනෙන් හඬ ඔස්සේ දිව ගියෙමි.

ඔහෙන් හිටපන්. ඇතුලට යන්න ඔනිනෑ.. අම්මාගේ කාමරයේ අසල උන් තාත්තා කෑගෑවේය. බිය නිසාම මා මිදුලට පසු බැසීමි.

එහෙත් කුතුහලය......

එකට මිටි තමා බඳින ලඳ සිදුරු වලින් ආවරණය වු ජනේලයෙන් එබී බැලීමට තරම් නිර්භිත වීමි.
අළුත උපන් බිළිඳෙකු තිඹිරි ගෙයි තුල මියයමින් සිටී.

මේ පාරත්  කෙල්ලෙක්  මවගේ වියලුණු දෙතොල් පෙති අතරන් පිටවුනි.

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, July 18, 2012

බේබද්දෙක් ?

අදත් මම බිව්ව. ඔවු ඒ හැමදාම වගේ උඹ හින්ද. මීට කලින් අරක්කු බොන එක පවු කියල හිතන් හිටපු මම දැන් බේබද්දෙක්. උඹ හින්ද තමා මේ ඔක්කොම. මම දැන් මෙහෙම බීල බීල මැරිල යයි. ගමේ එවුන්, රටේ එවුන් කියයි අරූ බීල බීලම නාස්ති වෙලා මලා කියල. මගේ යාලුවො කියයි අරූ කෙල්ලෙක් හින්ද ජීවිතේ නැති කර ගත්ත කියල. එතකොට බලපන් උඹේ යාලුවො, අර මට වල කපපු එවුන්, උන්ම උඹට ඇවිත් කියයි මම උඹ හින්ද ජීවිතේ නැති කරන් කියල. එතකොට උඹ ටම හිතෙ.....

මචන් උඹ ඕක බොන්නැත්තන් කියහන් මමම ඉවර කල්ල දාන්න. කයිය විතරයි, හැමදාමත් වගේ පටන් ගත්තු කෝප්පෙ කෙල ගානව විතරයි, බොන්නෙත් නෑ...

ලියා එව්වේ  - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Monday, July 16, 2012

බිස්නස්

ෂා ෆොටෝ එක නියමෙට එඩිට් උනා දැන් මේක ෆේස් බුක් දැම්මම අල්ලපු කඩේ එකාගේ බිස්නස් දවසින් වැටෙයි...

මුදලාලි ඇල්පෙනෙත්ති තියෙනවද????

නියමයි දැම්මා විතරයි ලයික් 25යි කමෙන්ට් 10යි ෂෙයා 5යි, ෂික් කොහේද මේ වාතයක් ආවනේ කඩේට...

මොනාවද අංකල් ඕනේ???

ඇල්පෙනෙත්ති????

කීයක් ගනන්ද? ???

දහයක්....

දහයක් දෙන්නේ නැහැ ගන්නවනම් එකක් රුපියල ගානේ සීයේ පැකට් එකක් ගන්න...

10 දෙන්නේ නැද්ද???

නැහැ ඕයි 10ක් විකුනලා ඉතුරු 90 මන් ** ගහගන්නද???

ඒ ගමන අල්ලපු කඩේට යනවා, ෂික් කාලකණ්නි ඇල්පෙනෙත්තක් ගන්නත් යන්නේ උන්ගේ ගාවට ජාතිය ගැන කිසි හැඟීමක් නැහැ

..........

එන්න සර් මොනාද බැලුවේ???

අල්පෙනෙත්ති තියෙනවද???

තියෙනවා සර් එකක් සත පනහයි ගොඩක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.....



ලියා එව්වේ - නිෂාන්

Friday, July 13, 2012

පිළිතුරක්


අපි නො ලියූ කවි වලට කුමට හඬමුද
නැවුම් කවියක් ලියමු, හැඟුම් දෙමි මම
මං ගැනම නුඹ ලියන කුරුටු කවි වල
පද අරුත් පසඳින්න ඉඩ දෙන්න මට,

නුඹ ලියන පද සොයා වෙහෙස වෙන හිත
මගේ සිතැඟි ලෙස නැතිව විඳවනවා මම
පද වැලේ එළිසමය වෙන්න බැරිවාට
නුඹට පෙම් කරණ මම ලියමි කවි පද

කවි හිතට පෙම් කරණ කිවිඳියයි මම,
කවි හැඟුම් සගවනවා රුදුරු ඔය හිත,
මට හොරෙන් නුඹ ලියපු ප්‍රේම කවි වල
බොඳ අකුරු පුරාවට හිඳින්නෙත් මම

නිදි නැතිව කවි ලියන නුඹේ පනිහිඳ
තෙතක් නැති කවි ලියන රුදුරු ඔය හිත
මගේ පෙම් කවට ඉඩ නුදුන් පන්හිඳ
සොඳුරු කවියෙක් වෙන්න ඔබට සිත නැත,



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, July 11, 2012

චිකන් ගස් යට ගුල් හාරන කැරට්!

අභ්‍යවකාශගාමියො අට දෙනෙක් ඩෙස්ටිනි ලෝකයට ගොඩබැස්සා.

ඒ ලෝකෙ නිදහසේ හුස්මගන්න පුළුවන් වුණාට ලොකු අමුත්තක් තිබුණා.

ඒ ලෝකය සෑහෙන්න වෙනස්.

එහේ ගස්වල වැවුණේ සත්තු.

ගස්වල ලොකුවට කුකුල්ලු හැදුණෙ පෘථිවියෙ අඹ හැදෙනව වගේ.

අන්නාසි හැදෙනව වගේ හරක්, ඌරො, මුවෝ, අලි හැදුණේ පඳුරුවල.

ඒව සත්ත්ව ගෙඩි තිබුණ ශාක.

අනිත් අතට එහෙ කැරට් අල කෑ ගහමින් හැම තැනම දිව්වා. ගෝව, බීට් තැන තැන ඇවිද්දා.

බෝංචි, මෑ කරල් පණුවො වගේ බඩගෑවා.

පොල්, කොස් තියෙන පැත්තකට කාටවත් යන්න බැරි වුණේ ප්‍රහාර එල්ල වුණ නිසා.

ගොයම් ගස් පළඟැටි රෑන් වගේ එක පොදියට දුවගෙන ගියා.

එහෙ සත්තුන්ට තිබුණෙ ශාක පෙනුමක්.

…………………………

සති දෙකක් ඇතුලත කණ්ඩායමේ දෙන්නෙක් මැරුණා.

එයාල නිර්මාංශභක්ෂකයෝ...


ලියා එව්වේ - hare :-)

Monday, July 9, 2012

මනුෂ්‍යයා

විශ්වය එක්ක බැලුවාම මිනිස්සු පෘතුවි වැසියෙක් විතරයි. ඒ වැසියා ලෝකේ එක්ක බැලුවම ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ආසියාව ඇතුලේ දකුණු ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. දකුණු ආසියාවේදි ශ්‍රී ලාංකිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ලංකාව ඇතුලේ අහවල් ජාතිකයෙක් උනා  කියලා, අහවල් ආගමිකයෙක් උනා කියලා, අහවල් ආයතනයේ, අහවල් විශ්ව විද්‍යාලයේ, අහවල් ඉස්කොලේ, අහවල් පංතියේ,  අහවල් පලාතේ, අහවල් දිස්ත්‍රික්කයේ, අහවල් නගරයේ, අහවල් ගමේ, අහවල් කුලේ, අහවල් පවුලේ කියලා මේ හැම එකක් නිසාම ආඩම්බර වෙනවා

අන්තිමට තමන් විතරක් තනි වෙනවා ඒතකොට ආඩම්බර වෙන්නේ මොකක් ගැනද?

එතකොට කවදාවත් මනුෂ්‍යයෙක් වෙච්ච එක ගැන ආඩම්බරයක් නැද්ද මනුෂ්‍යයන්ට??? මනුෂ්‍යයෙක් කියලා ආඩම්බර වෙන්න මතක් වෙනකොට අවසානය ලඟා වෙලාද ඉවරද???


ලියා එව්වේ - නිෂාන්

Friday, July 6, 2012

ප්‍රථම ප්‍රේමයෙන් පසු

ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ
ආදරය ගෙල වැලලාගෙනද
රෝමියෝ ජූලියට් මැරුනට
කතා පොතේ හැටියට
අපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතය
දෙවනි ප්‍රේමයතුල
පලවැනි ආදරය සොයා යන මුත්
නොලැබෙනා ආදරය තුල
කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....
ගලා යන කදුලැලි
ප්‍රථම ආදරයට මිස
නොමැති බව දන්නේද
දෙවැනි ආදරයට ඉඩක්...
කියන විට අවැසි බව නිවසක්
පැද යන්න රෝද හතරක වාහනයක්...
අමතක කර දමා හැර යනු මිස
මතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...
ගෙදරින් ගෙනෙන කටයුත්තක
නිහඩවම සිට රකිමින් මුනිවත
රැගෙන ඇය තුරුලට
විදින්නට සිතනු හැර මතක් වේවිද
සාලිය අශෝකමාලා දෙදෙනත්.......
ඇයගේ දෙමවුපියනුත්
පතයි නිවසක් සමගින් ආදරයක්
නොලැබෙනා විට එවන් මිනිසෙක්
ඇයට දෙයි පත්තරේකින් කොටසක්


ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Wednesday, July 4, 2012

පණ්ඩිත කම

කොහොමද නිවාඩුව, මොකද කලේ?

මැක්සීම් ගොර්කිගේ පොතක් කියෙව්වා.

ෂා... නියමයිනේ... ඔයාලාටනම් පොත් හම්බ වෙනවා ඒකට මට, අපේ දිහා ලයිබ්‍රරියක් නෑනේ.

ඒවා දුර්ලභ පොත්. ලයිබ්‍රරි වල නෑ. අනික මම කියවන්නේ අනිත් අය ටච් නොකරන පැති. එහෙම උනාම තමයි තමන් පණ්ඩිතයෙක් කියලා පෙන්වන් පුළුවන්, මම ගන්නේ මිල අඩුම පොත්, දවසක් ඒවගේ තැනකින් පොත් වගයක් ගත්තා , ඒවා පාලියෙන් තිබුනේ.

හැබැට.. එකොට ඒකයි ඔයාගේ පණ්ඩිත කමේ රහස.

ඔව් හැබැයි එතනදි පරෙස්සම් වෙන්න ඔනි අනිත් අය නොකියවන දේවල් කියවන්න. දැන් ඔය ෆිල්ම් හේම බලද්දි බලන්න ඔනි උස්බෙකිස්තාන. සුඩාන වගේ රටවල ෆිල්ම්.

ඒ මොකද ?

ඇයි ඒවගේ කතා බ්ලොග් පෝස්ට් එකක හරි ලිව්වෑකිනේ කවුරුත් දන්නෑනේ.


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, July 2, 2012

ඔන්ලයින් වැඩකාරයෝ

උඹලා සේරම හෙට දවල්ට ඔන්ලයින් එන්න ඕනේ.
ෆේස් බුක් එකේ සෆ්රාස්ලට දුවන්න ගේමක් සෙට් කරලා තියෙන්නේ මම.

ගෙදරට වෙලා ජොබ් එකකුත් නැතුව ෆේස්බුක් එකේ එල්ලිලා ඉන්නවා කියලා ගෙදරින් හැමදාම බනිනවා රී ලෝඩ් වලට සල්ලි ඉල්ලන්න ගියාම.

ණයට හරි රී ලෝඩ් එකක් දාන් වරෙන් බන් මන් ෆොටෝ එක ෂෙයා කලාම, උඹලා පට ගාලා කමෙන්ට්, ලයික් දාලා ෂෙයා කරපල්ලා

........

කොහොමද අරුන් තාම සද්දයක්  නැහැ ෆේස්බුක් එකේ.

අන්න අමිලයා දුවගෙන එනවා.

උඹලා දන්නවද ඇයි අරුන් පහුගිය ටිකේ ඔන්ලයින් හිටියේ නැත්තේ කියලා?

අන්න උඹලාගේ මාමගේ හන්දියේ වහලා තිබ්බ තට්ටු දෙකේ කඩේ අරගෙන සේරම එකතුවෙලා අළුතෙන් කඩයක් දානවලු. ඒකේ වැඩ නිසා උන් ඇවිත් නැත්තේ.



ලියා එව්වේ - නිෂාන්

Friday, June 29, 2012

රොන්ග් නම්බර්!!

මැදියමේ දුරකතනය නාද විය.. නිදිබර හඬින්ම ඇමතුවෙමි.

"හෙලෝ..."

එහා පිටින් ඇහුනේ ඉකිබිඳුමකි.

“පවන්...... මම යනවා..... යන්නම යනවා..... මට අයිතියක් නැතිනම් ඔයාගේ වෙන්න මම කොච්චියට පැනලා මැරෙනවා” පසුබිමින් දුම්රියක හඬක්ද ඇසේ.

"එපා මැරෙන්න... එපා!!... අපිට පුළුවන් අපේ වෙන්න.." කලබලේට මම කිව් දේවල් ගැන මටත් පුදුමයි.

"පවන්!!! ඔයා ඔය ඇත්තමද කියන්නේ.. අපේ හැම ප්‍රශ්ණයක්ම ඉවරද.. කියන්න පවන්."

"ඔව්.. ඉවරයි.. දැන් ඔයා යන්න ගෙදර... දැන්ම... අපි හෙට කතා කරමු.."

"යන්නම්... විශ්වාස කරන්නත් බෑ පවන්... මම ගෙදර ගිහින් ගන්නම් ඔයාට."

සැනසිලිදායක ගැහැණු හඬ දුරකතනයෙන් නෑසී ගියා.

මම සිහිඑලවා ගන්නට උන්සහ ගතිමි. මම පවන් නොවෙමි.
ඇයගේ නම නොඇසීම ගැන පසුතැවුනෙමි.

රොන්ග් නම්බර්!! කීවානම් පසුතැවිල්ලක් නැත.



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, June 27, 2012

අවිද්‍යාව

"මචං උඹ දන්නවද ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාස කළේ රාවණා"

"නෑ"

"නෑ නෙමෙයි ඔව්. රාවණා ළඟදිම අවදිවෙනවයි කියලා ලංකාවේ ඈතක භාවනා කරන තාපසයෙන් බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කෝල් කරලා කියලා"

"නෑ"

"ඔව් යකෝ ඔව්. ඕක පුදුමයක් නෙමෙයි බං. රාවණා රජ්ජුරුවෝ හද්ද ඩොටේ කාලේ දඬුමොණරෙන් උඩින් ගිය එකේ"

"දඬුමොණරෙට ජෙට් ෆුවෙල්ද දන්නෑ ගැහුවේ"

"විහිළු නෙමෙයි බං. දඬුමොණරේ උඩ යවලා තියෙන්නේ මන්තර වලින්......... උඹ මොනාද කල්පනා කරන්නේ?"

"නෑ බං මං මේ කල්පනා කළේ ඔය යන්ත්‍ර මන්ත්‍ර පස්සේ දුවන රජෙක් නිසා දැන් අපේ රටට කෙලවෙලා තියෙන කෙලවිල්ල. ඇරත් ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සියෙන් මහා දාගැබ් බැන්දා. ඒකට අද... පොඩි බෝක්කුවක් හදන්නත් චීනෙන් එනකං ඉන්න වෙලා"


ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, June 25, 2012

ජීවිතේ ගැටගහන මන්තරේ

“කපුරුබෝල විසිපහක් දහයයි…”

දුම්රිය වේදිකාව ඔස්සේ පැමිණි වෙලෙන්දා මා ඉදිරියේ නැවතුණා…

“මහත්තයා කපුරුබෝල..?”

“එපා..!”

මුහුණට දමා ගැසු තනි වචනය ඔහුගේ කහට ගැසුණු දසන් වල වැදී ඉවතට විසිවුනේ එහි වූ අව්‍යාජ සිනාවට මඳකිනුත් හානියක් නොකරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

හඬගාමින් ඔහු මා පසුකර නික්මුණා…

උදෑසන ලැබුණු ක්‍රෙඩිට් කාඩ් බිල හරහා සියවෙනි වරටත් නෙත් යැවූ මම එය සාක්කුවට රුවා ගත්තේ ඉලක්කම් ගණනක පඩිපත මාසික ණයතුරුස් හා සමබර කිරීමට සිතින් උත්සාහා කරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

කලාතුරකින් කෙනෙකු බර අඩුකරන ලද කපුරුබෝල මල්ලත් රැගෙන වෙලෙන්දා ආපසු ගමනේ…

“මහත්තයා කපුරුබෝල..?”

“කපුරුබෝල නෙමෙයි… ඔහේ දන්න මන්තරේ මටත් කියනවකෝ..?”

“මොන මන්තරේද මහත්තයා…?”

ඔහු ඇසුවේ පුදුමයෙන්…

“ජීවිතේ ගැටගහන මන්තරේ..!”


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Friday, June 22, 2012

ඔයාගෙ ආදර ජීවිතේ සම්පූර්ණද?

ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්. ආදරේ කියන්නෙ ඊටත් වඩා අරුම පුදුම දෙයක්.
ආදරේට බ්‍රේක් නෑ වගේම ජීවිතේට රිවස් නෑ.
ඒත් මේ ආදරේටත් රිවස් නෑ නේද කියල මට වෙලාවකට හිතෙනව.
මෙහෙමත් කියනවනෙ ජීවිතේකට ආදරයක් එකතු වුනොත් ඒ ජීවිතේ සම්පූර්ණයිලු.
ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ එතන හැමවෙලේම සතුට විතරක්ම තිබුනොත් විතරයි කියලයි මගේ හිතනම් කියන්නෙ.
ඒත් ආදරේ කියන්නෙ හැම මොහොතෙම සතුට විතරක්ම තියෙන දෙයක් නෙවෙයිනෙ.
අනිවාර්යෙන් කොයි මොහොතක හරි දුක කියන අපි අකමැතිම දේත් ඒකට එකතු වෙනව.
ඒ වෙලාවට කල්පනාවෙන් වැඩ කලොත් සතුට වගේම හිතේ සතුටින් දුකත් භාර ගත්තොත් අන්න එයාගෙ ජීවිතේනම් සම්පූර්ණවේවි.
කන්දක් නැග්ගනම් පල්ලමකුත් තියනවනෙ කියල හිතුවනම් හරි.
මේ මට හිතුන හැටි!

ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, June 20, 2012

නපුරිගේ ආදරේ

“මම සුරංගනාවියක් නෙවෙයි, ඒත් හැමදාමත් ඔයාට මාව පෙනුනේ එහෙම, මගේ ජීවිතේ මමවත් නොදැකපු වටිනාකමක් ඔයාට පෙනුනා. සමහර විට ඒක වෙන්න ඇති මට ඔයා ගැන ආදරයක් නොහිතෙන්නේ..”

“රන්දනා මම ඔයාට ආදරෙයි. ඒක වෙන්න ඇති මේ ලොකේ හොඳම කෙනා ඔයා විදියට පේන්නේ මම වැරදිද??”

“ඔව් කුසල් වැරදියි ඔයා හොඳටම වැරදියි. ඔයාගේම හිත රවටගෙන ආදරේ කරන එක වැරදියි, ඔයා මෙතනදි හැසිරෙන්නේ මහා මෝඩයෙක් වගේ මම කැමති නෑ ආදරේ හිඟාකන පිරිමින්ට”

“ඔයා නපුරු ආත්මාර්ථකාමී කෙල්ලකේ රන්දනා, මේ හැටි ආදරේ කරලාත් ඔයාට මගේ කිසිම වටිනාකමක් නෑ හිතක් පපුවක් නෑ ඔයාට”

“හ්ම්ම්ම්, ඔයා ඒත් මට ආදරේද කුසල්,”

“ඔය නපුරුකමත් දන්නවා, මම ඔයාගේ දුර්වලකම් දැනගෙනයි ආදරේ කරන්නේ”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, June 18, 2012

ඩිස්ක්ලේමරේ!

Fun පින්තූර ෆේස් බුක් දාන එකෙක් එක්ක චැටක්! 

“උඹ ෆ්‍රීද?” 

“ඇයි?” 

“පොඩි වැඩකට පින්තූරයක් එඩිට් කරගන්න...” 

“කියපං...” 

“නෑ බං දන්නවනෙ මේ දවස්වල නෙට් එකේ නැගලම යන සීන් එක.. අර අප්සෙට් සින්දුව?” 

“ආ... ඉතිං?” 

“ඕක කියන එකාගෙ පට්ටන්දරේ දාල ඌට මඩක් ගහල පින්තූරයක් හදාගන්න ඕන ෂෙයා කරන්න” 

“අර මොකෝ? උඹ උගේ සින්දුවලට හෙන ආසයිනෙ?” 

“ඒ වුණාට යකඩෙ රත්වුණ වෙලාවෙ තලාගන්න එපැයි.. වෝටර් මාක් එකක් එක්ක ඕක දැම්ම ගමන් මගේ පේජ් එක හිටු කියල හිට් වෙනව.” 

“ම්.... දාන්න ඕන ඒව ඊමේල් කරපං” 

“එල මචං.. හැබැයි මතක ඇතුව පින්තූරෙ යටින් පොඩියට දාන්න එකක් තියෙනව” 

“මොකක්ද?” 

“මෙයා මෙහෙම කරාට අපි මෙයාට අනුකම්පා කරන්න ඕන!” 

 

ලියා එව්වේ - hare :-)

Friday, June 15, 2012

ධනාත්මක චින්තනය

"අතෑරලා දාන්න..!"

මම තිගැස්සී ඔහු දෙස බැලුවා...

"මටද කිව්වේ..?"

"ඔව්..."

බස් නැවතුමේ මා හැරුණු කොට සිටියේ ඔහු විතරයි... දිගින් දිගටම අසාර්ථක වුණු වෙළඳ ගනුදෙනුවක් හඹා යෑමෙන් හෙම්බත්ව උන් මා සිත තුල වූ පෙරළිය ඔහු දැනගත්තේ කෙසේදැයි මා දැන සිටියේ  නැහැ..

"මම යකඩයක් වගේ මිනිහෙක්... යමක් හිතුවොත් කරලා තමයි පස්ස බලන්නේ... දුර්වලයෙක් වගේ අතාරින එක මගේ පොතේ නෑ..."

මම කියද්දී ඔහු සිනාසුනා...

ඉතිං ඔහේ හරිම දුර්වලයෙක් නේන්නම්... ඔහේට ශක්තියක් නෑ යමක් අතෑරලා ඒකේ ප්‍රථිපලයට ශක්තිමත්ව මූණ දෙන්න... පරාජයක් හිනාවෙන් පිළිගන්න... අලුත් අභියෝගයක් හඹායන්න...”

ඔහු කියවාගෙන ගියේ මම කට ඇරගෙන අහගෙන සිටිද්දීයි...

“අතෑරලා දාන්න..!”

ඔහු නැවතත් එසේ කියමින් නැවැත්වූ බස්රථය දෙසට පියමැන්නා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Wednesday, June 13, 2012

එලටම උගන්නන ගුරුවරයා ගින්දර පොරකි

අළුතෙන් පත්වීම් ලද අපේ මිතුරු ජයා වැටුනේ ග්‍රෑන්ඩ්පාස් පැත්තේ ඉස්කෝලෙකටය. ප්‍රින්සිපල් මූට අටේ පන්තියක් දී ඇත. පන්තිය පිස්සන් කොටුවක් වැනිලුය. උගන්නන දෙයක් එකෙක්වත් අහං ඉන්නේත් නැතිලුය. බැන්නත් වගේ වගක් නැතිලුය. බැරිමතැන දෙතුන් දෙනෙකුට තඩි ටොකු ඇන ඇත. ඒත් පලක් වී නැත.

මූ දවසක් ඔරොප්පු මූඩ් එකෙන් පන්තියට ගොස් ඇත. මේසයට දඩාං ගා ගසා මේසය මත වාඩිවී ඇත.

"ඕයි..... නිස්සද්ද වෙනවල... බලනවල මේ පන්තියෙ හැටි....? මොකද්ද ඕයි මේක? රයිට්... මෙච්චරයි. මේ මාසෙ ඉවරවෙන්ඩ කලිං අපි මේ පන්තිය ‘ගින්දර ටිකට’ හදල ගන්ඩ ඕනෙ හරී...C"

පන්තිය නිස්සද්දය. කලින්දා ටොකු කාපු එකෙක් නැගිට්ටේය.

"එලකිරි සර්....C"

දැනට ගෙවී ඇත්තේ සතියකි. දැනටම ඒක පාසලේ හොඳම පන්තියලු.



ලියා එව්වේ - Charmi (http://reargate.blogspot.com/)

Monday, June 11, 2012

තාත්තාගේ ලව් ස්ටෝරිය

ගුණ‍සේන අපේ තාත්තා. හැටගණන්වල කොළඹ වැඩකරද්දි යාළුවො එක්ක කළේ පත්තරවල මිතුරු හමුවෙන් කෙල්ලො සෙට් කරගන්න එක.

ඔන්න ඔහොම ගුණසේනට ගාල්ලෙ කෙල්ලක් සෙට්වුණා. මාස කීපයක් තිස්සෙ ලියුම්වලින්ම වැඩේ තිතට ගිහින් කාලෙකදි දෙන්නට හම්බවෙන්න හිතෙනවා.

ගාල්ලෙ ස්ටේෂන් එකේදි හමුබවෙමු කියලා දින වෙලාවලුත් එක්ක කලින් කතාවෙනවා. ගුණසේන කියන්නෙ එයා ගාලු එන්නෙ යාළුවෙක් එක්ක කියලයි.

කතා කරගන්න දවසෙ තමන් එක්ක යන්න හිටපු යාළුවට හදිසි රාජකාරියක් වැටෙන නිසා ගුණසේන තනියම ගාල්ලට එනවා. ස්ටේෂන් එකේ කතාකරගත්තු තැන කියපු විධියෙ ඇඳුමක් ඇඳගෙන කෙල්ලක් ඉන්නවා.

“ඔයා මල්ලිකාද?”

“ආනේ ඔව්.. ඔයාද ගුණසේන?”

කෙල්ල හිනාවෙනවා... හප්පා... දත් ටික අප්සෙට්!

ගුණසේනටත් අප්සෙට්!

“අනේ නෑ... ගුණේට හදිසි වැඩක් තිබිල එන්න බැරි වුණා.”

 

ලියා එව්වේ - hare :-)

Friday, June 8, 2012

වයසෙ වැරැද්ද..

අවුරුදු 10 දි අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 15 දි අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 16 දි අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 17 දි අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 18 දි අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 20 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 25 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා


හ්ම්ම් අවුරුදු 5ක් එතකොට කරන්න දෙයක් නැතුව නිකන්ම හිටියද ?
නැත්තන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරල තියෙන හින්ද ඒවම ආයෙ ආයෙත් කර කර හිටියද ?

ස්ස් මල්ලි , උබල අපි කරපු දේවල් කරන්න හිතලවත් නෑ..
බම්බුව තමයි...


ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Wednesday, June 6, 2012

මගේ සිහිනය

සිනිඳු සමනල් තටු ද මල් පෙති
අතරෙ නැළවුනු මගේ සිහිනය
රෝස දම් කහ නිල් ද කොල සුදු
පාට තැවරුනු මගේ සිහිනය

දිලෙන මුතු කැට පබළු මිණි කැට
වලින් ඔප වුනු මගේ සිහිනය
හිතේ හිර වුනු දහස් පැතුමන්
එකට ඇමිණුනු මගේ සිහිනය

පෙනෙන නොපෙනෙන ඈත ක්ෂිතිජයෙ
මැවී බොඳ වුනු  මගේ සිහිනය
අතට අසු වුන සැණින් දිය වුනු
සොඳුරු පියකරු  මගේ සිහිනය

ඉටි පහන් සිල සමග පොර බැදි
අඳුරෙ සැඟවුනු මගේ සිහිනය 
ලොව වසා ගත් ඝන අඳුර තුල
කඳුළු වගුරන මගේ සිහිනය

ඔබේ පා මුල හැපී පොඩි වුනු
බිඳී විසිරුණු මගේ සිහිනය
හමුවේද මතු යම් දිනක යළි
මට අහිමි වුනු මගේ සිහිනය

 

ලියා එව්වේ - සුන්දරී

Monday, June 4, 2012

උඹලාගේ කඩේ සම්බෝල

ඇය හෙල බස හසුරන්නේ නුහුරටය, පාසැලේදී මා ඇසුරු කරන එකම තැනැත්තිය වූ ඇය ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි බස හසිරුවාය. ඇතැම් විට ඇයගේ කතාව මට කරදරයක්ද විය.

දිනක් දිවා අහාර වෙලාවේදී ඇය චතුර ලෙස ඉංග්‍රීසි බසින් මා හා රස කතාවක් කීවාය.

මම පුංචි කාලේ අපේ අල්ලපු ගෙදර සිංහල කඩයක් තිබුනා, දවසක් අම්මා මාව කඩේට යැව්වා බඩු වගයක් ගේන්න, මම කඩේට ගිහින් ඇහුවා උඹලාගේ කඩේ සම්බෝල තියෙනවාද කියලා, කඩේ කෙනා ආයි ආයි අහද්දි මම ඒකම ඇහුවා. අත්තිමට අම්මා එක්ක මට ආයිත් එන්න කිව්වා, එයාලා අම්මාගෙන් ඇහුවා ඇයි මේ ළමයා මෙහෙම අහන්නේ කියලා. ඊට පස්සෙයි අම්මා කිව්වේ මට ගේන්න කිව්වේ උම්බලකඩ සම්බෝල කියලා

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, June 1, 2012

ඔබා මාමා

එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේ
ඔබා මාමා නැත මා හට හමු වූයේ
වරද මගෙ බව දනිමි අද දිනයේ
පිරිවර වට කරන් නෙව මාමා හිටියේ

දුටුවෙමි ඔබෙ සිනා යනෙනා විටදී
හිතුනද දොඩන්නට මාමේ ඔබ ලඟදී
දිරියක් නොම වීය මේ ළදරුව හට එහිදී
හිඩැසක් තිබේ මගෙ හිත තුල අද දිනදී

ඔබා කවුරුන්ද යන බව මම අද දනිමී
ලැබ තිබු ගෞරවය හැම තැනදීම මම දුටිමී
කමෙන්ට් දමා හැම දෙන හට නොම ඉදිමී
නිහතමානි ඔබහට මම හිස නමමි

ඉන්නා තැනක සිට අප දෙස ඇස යොමපන්
කොලු-කෙලි පැටව් ටික නුබගේ යයි සිතපන්
යනවා නම සිත් තොසින් ඔබ ලැබ අමා නිවන්
එය සතුටකී පතනෙමු ඔබට නිවන්

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Wednesday, May 30, 2012

ෆේස් බුක් ප්‍රේමය.


"බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශණය නැරඹීමට හා පොත් මිලදී ගැනීමට  විශාල පිරිසක් අවට සැරිසරමින් සිටියහ. විනෝජ් උසස් පෙළේ ඉගෙනුම ලබනා කොලුගැටයෙකි. ඔහු තම මිතුරාත් සමඟ එතැනට විත් සිටියේ මූණු පොතින් හමුවූ තම අලුත් පෙම්වතිය මුණ ගැසීමටය.

වේලාව තත්පරයෙන් තත්පරය ලං විය. ඒ අතර සුන්දර කෙල්ලන්ගේ මුහුණු පෙනී නොපෙනී ගියේය.

"හෙලෝ ඔයා විනෝජ් නේද?" යැයි පමනට වඩා ශරීරයෙන් විශාල කළුම කළු කෙල්ලක් ඔහුගෙන් ඇසුවාය. ඇය ඇඳ සිටියේ විනෝජ්ගේ ප්‍රේමවන්තිය කියූ ආකාරයටමය. කට හඬඳ දුරකථනයෙන් ඇසුනු ඒ හඬමය.

"බුදු අම්මෝ….." කියා ගෙනම විනෝජ් සෙනග පීරාගෙන ඉදිරියට දිව්වේය. සිදු වූ දේ වටහා ගත නොහැකි වූ ඔහු මිතුරා ඔහු පසු පසින් තරඟයට මෙන් දිව්වේය.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, May 28, 2012

මායාවක සිරගතව

“උඹට මොනවද ඕනි කියපං”

“අනුහස් අයියාව”

“හික්ස්.......... පිස්සි ඒකව හම්බ වෙන්නෑනේ වෙන දෙයක් කතා කරපංකෝ, එයා නැතුව වෙන මොනවද ඕනි?”

“එයා නැතිව මට වෙන මුකුත් එපා , මම ඉල්ලන්නේ ඉරයි හදයි තරුයි නෙවෙයි”

“ඉතින් ඔය මොනව උනත් එකයි නේ”

“ඒ ඉර හරි හඳ හරි තරුවක් හරි උනානම් මට අහිමියි කියලා ඉවසන් ඉන්නවා”

“ලැබෙන්නැත්තං මොනව කරන්නද උඹට කියලා හදන්න බෑ කෙල්ලෙ උඹට හැදෙන්න උවමනාවකුත් නෑ අනේ මන්දා මට තේරෙන්නෑ කෙල්ලෙ”

“මටත් තෙරෙන්නෑ මේක බොළඳ කමක් කියලා හිතන්න එපා බන් මම ජීවිතේ දකින්නේ මේ විදියට මගේ පපුව රිදෙනවා මම යනවා”

“උඹ දුක් විද විද හිටපං උඹට හැදෙන්න ඕනි නෑ උඹව හදන්නත් බෑ”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, May 25, 2012

යාදුන් පුද්ගලික කරණය - ලංකාවේ මොබයි කතාව

මුලීන්ම සෙල්ටෙල් කියල ජාතියක් ආවා. ඒවා ගත්තේ රටේ ලොකු බිස්නස් පොරවල්. ඊට ටික කාලෙකට පස්සේ කෝල්ලින්ක් ආවා. එතකොට නං සාමාන්‍ය බිස්නස් කාරයොත් ගත්තා. ඊට පස්සේ මොබිටෙල් ආවා. ඩයලොග් අන්තිමට ආවා. ඒත් ගාණ අඩු සහ ඩිජිටල්(ජී.එස්.එම්) නිසා ඩයලොග් ජනප්‍රිය වුනා. පස්සේ ඔක්කොම ඩිජිටල් වුනා. මේ සමාගම් එකක්වත් ආරම්භ කරපු අය නොවෙයි වර්ථමාන අයිතිකරුවන්. සෙල්ටෙල් ටිගෝ වුනා දැන් එටිසලාට්. කෝල්ලින්ක් හච් වෙලා. මොබිටෙල් පටන් ගත්තේ ටෙලියා කියල කට්ටියක්. දැන් අයිති ටෙලිකොම් එකට. ඩයලොග් වල නම වෙනස් වුනේ ඇක්සියේටා කියල අගට එකතු වෙලා, ඒත් මේ සමගම මුලින් මහරාජා පස්සේ ටෙලිකොම් මැලේසියා, සෙල්කොම්, අන්තිමට ඇක්සියේටල ගත්තා. එයාටෙල් අන්තිමට ආව. විනාඩියකට 25කට ඇවිත් දැන් 2.50.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Wednesday, May 23, 2012

වැලන්ටයින්ස් ඩේ...

"මචං අර දේවි එකේ කෙල්ල කනත්ත ළඟ හෝල්ට් එකට එනවා කියලා මෙසේජ් එකක් දාලා තිබුණා බං. අතේ සතේ නෑ, අම්මාගෙන් ඉල්ලුවාම බස් එකට මිසක වැඩිපුර සතයක් දෙන්නෙ නෑ කිව්වා. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ“

අගනුවර ප්‍රධාන පෙළේ පාසලක කොලු ගැටයන් දෙදෙනෙකුගේ බරපතල ප්‍රශ්නයකි.

"හම්ම්ම්...... හරි මචන් මම කියන්නම් අපි යමු කනත්තට."

තම සගයා පත් වී ඇති බරපතල ප්‍රශ්නය වටහා ගත් අනෙකා කමල් වන තම සගයාවද ඇදගෙන කනත්ත තුලට රංගුවේය.

උදයේ හතට පමණ සුදු පාට පාසල් නිල ඇඳුමෙන් සැරසී, කොන්ඩය කරල් දෙකකට ගොතා පියකරු, සිනාපිරි මුහුණින් ඈ බස් නැවතුම් පොලට ආවාය.

"හිරුණි හැපි වැලන්ටයින්ස් ඩේ!"

කමල් ලස්සන රෝසමලක් ඈ අත තැබුවේය

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, May 21, 2012

රොබරෝසියා මල් වසන්තය



හන්තාන ඉසව්වට රොබරෝසියා මල් වසන්තය උදාවෙලා, ඔයා දන්නවාද මගේ සිතුවිලි කොයි තරම්නම් අවුල් උනාද කියලා. ලා රොසපාට රොබරෝසියා යායාට එපිටින් ඒදිහා බලා උන්නු මම සිනිවිලි එක්ක අතීතියට ගිය මොහතෙක

රොබරෝසියා මල් වැස්සේ ඔයාගේ අතේ එල්ලිලා කැම්පස් එක පුරා ඇවිදපු දවස් වල මම අතරමන් උනා, කවුරුත් නොදන්න හේතුවකට ඔයා කොළඹ කොව්වියේ නැගිලා මාව පේරාදෙනිය ස්ටේෂන් එකේ දාලා ගිය ඒ දවස ඔයාට මතකද.. ආපහු අවිත් මේ රොබරෝසියා මල් ගහ යට ඉඳන් මම අඬපු තරම දන්නේ මායි මේ මල් ගහයි විතරයි.

මුළු හන්තානම රොබරෝසියා වසන්තයෙන් සුව විඳින කොට හැමදාමත් රොබරෝසියා ගහ යටට වෙලා අඬන මට ඔයාගේ ආදරෙත් දැනුනේ හුළගේ පාවුන රොබරෝසියා මල්ක් වගේමයි

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

(පින්තූරය http://sun-ge-lookaya.blogspot.com වෙතින්)

Friday, May 18, 2012

උද්දච්චකම

නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි.

"අමතන්න අමතන්න.."

"ඔව් අමතනවා අමතනවා.."

"කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"

"අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."

"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."

"මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."

"උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."

"මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "

"මේක නැවක් නෙවෙයි. ප්‍රදීපාගාරයක්"

"ඌප්ස්"

දඩෝං..

ලියා එව්වේ : පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Sunday, May 13, 2012

ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!

ජීවිතේ අත්දැකීම් එක්ක මිනිහෙක් ඵල බර වෙනවා. හැබැයි නියම මිනිහෙක් කවදාවත් එහෙම වුණා කියල පිම්බෙන්නෙ නෑ. එයා තව තවත් මිනිස්සු දිහාවට බර වෙනවා. හරියට ඵල බර වෙද්දි ගස් වල අතු පහලට නැමෙනවා වගේ.

එහෙම මිනිස්සු ජීවිත කාලෙදිම ලබපු අත්දැකීම් එක්ක බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ වින්දනය කරන අය.

බ්ලොග් අවකාශෙත් එහෙම මිනිහෙක් හිටියා. හැමෝටම හිනාවෙලා කතා කරපු ඔහු කමෙන්ටුවක් ඇතුලෙත් පතුරු යන්න හිනාවුණ පොළොවෙ හිටපු මිනිහෙක්!

ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!

ඔහු සියය අඩවියට වචන 800ක් ලිව්වා. ලියපු බොහොම දෙනෙක්ව කමෙන්ටුවකින් දිරිගැන්නුවා. හැමෝටම වඩා හොඳින් හිනා වුණා.

ජීවිතේ කියන්නෙ අපි හිතාගෙන ඉන්න එකම නෙවෙයි කියලා ජීවිතෙන් ඔහු අපට පෙන්නුවා.

ඔබට නිවන් සුව!

Wednesday, May 9, 2012

වෙජිටේරියන්

ආයතනයේ සේවයට අලුතෙන් පැමිණි තිමිර දහවල් ආහාරය ගැනීම සඳහා ලන්ච් රූම් එක වෙත පිය මැන්නේ ආයතනයේ තිබෙන නීති රීති පිළිබද උදුලගෙන් විස්තර දැන ගන්නා ගමන්මයි.

.........................................................

"මචන් තිමිර උඹට චිකන් කෑල්ලක් දාන්නද?"

"එපා මචන් තැන්ක්ස්... මං වෙජිටේරියන්"

"සිරාවටම උඹ මස් කන්නේ නැද්ද?"

"නෑ බං උදුල මම මස් කන්නේ නෑ"

"ඇයි බං මස් කන්නේ නැත්තේ?"

"මස් කන එක පව් බං"

"අපි මස් කන්නේ මරල නෙමෙයිනේ, මිනිස්සු සත්තු මරණ හින්දනේ බං"

"අපි මස් කෑවේ නැත්තම් සත්තු මැරෙන්නෙත් නෑ නේද මචන් උදුල?"

උදුල තමන්ගේ කෑම පංගුවේ ඇති කොස් ව්‍යංජනයෙන් බිඳක් තිමිරගේ බත් එකට දමමින්...

"අහ්... උඹ බිත්තර කනවද? බිත්තර කන එක පව් නැද්ද බං?"



ලියා එව්වේ - පැතුම් (http://sithumpethum.blogspot.com)

Friday, May 4, 2012

HTML ජීවිත

කව්දෝ කියල තියනවලු ජීවිතේ ගංගාවක් වගේ කියල, වෙලාවකට නිදහසේ ඔහේ ගලන තවත් වෙලාවක චණ්ඩ දිය රැලි නගන තවත් වෙලාවක කදුපල්ලම් වලින් සුන්දර දියඇලි මවන....
රෙද්ද තමයි...

එහෙම ජීවිත කොහෙද තියෙන්නෙ..? නැගිටපු වෙලාවෙ ඉදන් මොකක්ද එක කැඩිච්ච කඩියා වගේ එහෙ මෙහෙ දුවන, Lectures, Tutorial, Practical  වලින් දවස ඔහේ ගෙවාදමන ගංගාවල් තියෙන්නෙ මොන ලෝකෙද? මම කියන්නෙ ජීවිතේ HTML පිටුවක්,
 
ටැග් එකකින් පටන්ගෙන ඒකෙන්ම ඉවර වෙනකං තමයි සේරම නාඩගං. උදේ පාන්දරම <gm> එකෙන් පටන් ගෙන අතේ ඇගිලි කොර වෙනකං මැසේජ් කොටල අන්තිමට <gn> කොටල අහවර වෙනව. ඒත් මදි උනොත් මැදට tc sd bs කෑලිත් ඔබන්න පුලුවන්...! ආයෙ ඊලග දවසෙත් ඕකම තමයි. ඔන්න ජීවිතේ..!!!
 
ලියා එව්වේ - බූටා

Related Posts Plugin for WordPress, Blogger...