Sunday, March 6, 2011

අනේ බුදු හාමුදුරුවනේ !

මාව පන්සලට බාර දෙනකොට මට වයස හයයිලු...
පන්සලට දුන්නේ මගේ හතර කේන්දරේ පාළු නිසාලු...
මගෙන් ගෙදරට ගොඩක් අපලයිලු...
එතකොට මගෙන් පන්සලට අපල නැද්ද බුදු හාමුදුරුවනේ...?

කොට කලිසමෙන් මල්ලිත් එක්ක නියර දිගේ හැල්මේ දුවපු මට,
මේ කහ පාට සිවුර හරිම බරයි....
පන්සලට එන්න උනේ වක්කඩේ දණ්ඩියෝ, තිත්තයො අල්ලපු පවට නම්,
මම ආයේ උන්ව අල්ලන්නෙ නැතිව ඉන්නම්...
අනේ, මට ආපහු ගෙදර යන්න දෙනවද බුදු හාමුදුරුවනේ......?

මම මීට පස්සෙ අමාරුවෙන් හෝඩි පොත කියවන්නම්......
අම්මා ඉඳල හිටල අනින ටොක්කට ටිකක් රිදුනත්.....
පස්සෙ දුක හිතිලා අම්මා ඔළුව අත ගානකොට හරිම සනීපයි....
බණ පොත වරදිද්දි තරහෙන් වදින,
ලොකු හාමුදුරුවන්ගේ ටොක්ක නම්, අනේ ඉවසන්න බෑ බුදු හාමුදුරුවනේ....


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

7 comments:

  1. http://www.watchtower.org/sn/index.html

    ReplyDelete
  2. මේ නිර්මාණය බුදු දහමට විරිද්ධව පල කල එකක් නෙමෙයි. සමාජයේ කාලයකට ඉහතදී මුල් බැස ගත් "හතර කේන්දරේ පාළු නම්" පන්සලට බාර දිය යුතුයි කියන සාමජයේ මතයේ ඛේධනීය පැත්ත විවර කිරීමක් පමණයි.

    අවස්ථාවාදීව මේ නිර්මාණය වෙන ආගමක ප්‍රචාරය සඳහා යොදා ගැනීම ගැන මාගේ බලවත් විරුද්ධත්වය !

    ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතුයි. හැබැයි එය ඔය ඉස්සෙල්ල කමෙන්ට් එක දාල තියෙන ව්දිහට ගොන් පාට් බල කිරීමක් හරහා නොවිය යුතුයි.

    ReplyDelete
  3. ඇත්තටම හරිම සංවේදී වචන 100ක්.

    ReplyDelete
  4. "එතකොට මගෙන් පන්සලට අපල නැද්ද බුදු හාමුදුරුවනේ...?"

    :( පව්.

    ReplyDelete
  5. එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියන විට වැද වැටිලා
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන දුවලා


    නොතේරෙන සෙල්ලම් කාලෙදි පොඩි අයව මහන කරන එක නම් හරි පව් :(

    ReplyDelete
  6. ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත් වුන දුප්පත් දෙමාපියෝ දරුවන්ට අනාගතයක් දෙන්න මේ පාරත් පාවිච්චි කරනවා. මට නම් එකේ වරදක් පෙනෙන්නේ නෑ.. එහෙම ළමයි ඉගෙන ගෙන සිවුර ඇරියට එකෙන් වෙන සමාජ සේවය ඊට වැඩිය විශාල නිසා.. ඒ වගේ ක්‍රමයක් විධිමත් විදිහට බවුද්ද පන්සල් වල ඇති කරලා එකට ඔය මහප්‍රාණ උත්සව වලට වියදම් කරන සල්ලි යෙදවුවහොත් අන්‍යාගම්කරණය ගැන එච්චර කතාකරන්න වෙන එකක් නැහැ.. බෝධීන් වහන්සේලා වටේ මහා ප්‍රාකාර රන් වැටවල් හැදීමට වඩා මිනිසුන් හැදීම වැදගත්.. බුදු හාමුදුරුවෝ බඩගිනි මිනිහට පනසලෙන් කන්න දීලයි බණ කිවුවේ.. . එකම ප්‍රශ්නය අපේ සමහරක් දේශකයින්ගේ ළඟ කරුණාව මයිත්‍රීය නැති කමයි... බුදු හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ව තමුන් ලඟට ගත්තේ වයස හතේදී . ඒ වගේ තමයි සෝපාක. .. පුංච් හිත ගැන අවබෝදයක් නැති නම් හිරකාරයෝ වගේ තදට නීති දාල පුංචි හාමුදුරුවරුන්ව පෙලනවා.. හැබැයි පුංචි සාමනේරවරුන් දුව පැන නටනවා මම එක පන්සලකදී දැක්ක... මම හිනාවෙන් ඒ දිහා බලන් ඉන්නකොට ලොකු හාමුදුරුවෝ කියනවා."මහණ වුනත් පුංචි ළමයිනේ මහත්තය .. මම ඒ අයට ටිකක් නිදහසේ ඉන්න දෙනවා... නැත්නම් පන්සල් ජීවිතේ එපාවෙලා යයි.." කියල.. අන්න ඒ වගේ ටිකක් තාත්ත වගේ ලොකු හාමුදුරුවෝ ඉන්න තැනුත් තියෙනවා.. ඒ එක්කම් අනිත් විදිහත් තියෙනවා. මගේ "මේ කඳුළු" බලන්නකෝ..
    වැරදි දේ විවේචනය කළාට බුද්ධ ශාසනයට හානියක් වෙන්නේ නෑ. බුද්ධ දේශනාව මදින්න මදින්න පැහැපත් වෙන දියමන්තියක් වගෙයි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...