Wednesday, February 11, 2015

උග්‍ර වාදියෝ

එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර ‍පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.

නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.

මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ විමසීය.

මචන් උඹලා දෙන්නා දෙපැත්තට කතා කරපු විදියට එකට ඉන්නවා දකින එකත් පුදුමයි. වෙන උන් දෙන්නෙක් නම් ගහමරාගෙන හොස්පිටල් ඇඩ්මිට් කරලා.

මචන් මම උග්‍ර මෛත්‍රීවාදියෙක් බවත් ඇත්ත. මූ උග්‍ර මහින්දවාදියෙක් බවත් ඇත්ත. ඒත් අපි ඊටත් වැඩිය උග්‍ර මිත්‍රවාදියෝ...


ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, February 4, 2015

අසිපතක කඳුළු....

ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...
දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ.
කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා මමයි උඹයි උඹේ මනුස්සයයි විතරයි දන්නේ. මුන්ට ඒවාගෙන් වැඩක් නෑ. මට දුක උඹව මරන්න මාවම ගේන එක. මීට වඩා හොඳයි මහ පොළවෙම මළ කාල දිරල ගියානම්. ඇයි තාත්තේ උඹ මාව උදලු තලයක් නොකර අසිපතක්ම කළේ..
මට සමාවෙයන් කම්මල්කාර තාත්තේ....

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, January 28, 2015

විශ්වාසය සමග නිදි වැදීම

වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.

අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා.

අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.

නොපිපි කැකුළු වෙත
ලියමි සෙනෙහසින්
බඹරු දෙබරු ගැන
සමනලයින් ගැන
නොදත් නුඹට
ලියමි සෙනෙහසින්........

නමක් නොමැති නවාතැනක
දොරගුලු ලා රොන් ඉල්ලන
වන බඹරුන් ඇත
සමනලයින් ඇත......

සියුම් ඇසක් නුඹට හොරෙන්
සඟව තබා රොනට වඩින
සමනලයින් ඇත
වන බඹරුන් ඇත.....

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, January 23, 2015

සිගරට්ටුවක් කල හදියක්

මම සිගරට් පාවිච්චිය ඇයි කියල කෙනෙක් මගෙන් ඇහුවා,
එයා පෙන්නලා දුන්නා සිගරට් මාව මරන විදිය,
අන්තිමට කොහොමද විඳවන්නෙත් කියලා..
මම එයාට කිව්වෙ "කමක් නෑ නංගි ඔයිට වඩා මගේ මතක මාව ටික ටික මරනවා, මාව නැති කරනවා" කියලා!
"ඒ උනාට ඔයා දෙවිදියකට මැරෙන්න ඕනෙ නෑනෙ? ඇයි ඔයා හිතිනුත් විඳවලා ශාරීරිකවත් විඳවන්නෙ? ඔයාට කවුරුවත් නැද්ද මේ දේවල් කියන්න ඔයාට ආදරය කරන කෙනෙක්?"
"මට ආදරය කරපු එක්කෙනාම තමා අද මාව ටික ටික මරන්නෙ, එයාගෙම මතක, එයාට බැරි උනා එයාගෙ හදවතට ආදර උගන්නපු කෙනාගෙ හදවත දීලා යන්න!
මගේ දෙතොල් මේ සිගරට් ඉඹලා ඇති එයාගෙ දෙතොල් වලටවඩා!"
"අයියෙ අද ඉදලා මම ඔයාව බලාගන්නෙ! ආදරය කරන්නෙ!"

ලියා එව්වේ - මලිත් කුෂාන් (http://www.goldzone-tc.blogspot.com/)

Wednesday, January 21, 2015

වෙනස සහ ආදරයක

කොච්චර හොඳට ආදරෙන් හිටපු කපල් එකක්ද අර? දිවෙන් දිව ගාගෙන හිටපු උන් දැන් අඳුනන්නැති එවුන් වගේ. දකින කොටත් පුදුමයි.

හ්ම්ම්.. මාත් දැක්කා. කෙල්ලට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා කවුද කොල්ලට කේලමක් කියලලු. ඒත් කෙල්ලට එහෙම එකක් තිබිලා නෑ. ඕකට දෙන්නා රණ්ඩු වෙලා. අවසානේ සම්බන්ධෙ නතර වෙලාම ගිහිල්ලා.

මට මතකයි දෙන්න හම්බෙනකොටයි ආපහු යනකොටයි නලලට කිස් කර ගන්නවා.

හ්ම්ම්.. ගොඩක් ඔය දෙන්නට ජෙලස් එකේ හිටියෙ. පවු, කොහොම වුණත් නියම මැචින් කපල් එක.

එහෙම දෙන්නෙකුට මෙහෙම උනා නම් අපිට කවර කතාද?

බූරුවා.. අපි උන් වගේ ආදරේ නොකරන එක ඇත්ත. ඒත් අපේ ආදරේ තව ආදරයක් ළඟ බාල්දු කරන්න එපා මැට්ටෝ...

අනේ සොරි සුදූ...

ගොනා..

ලියා එව්වේ - හංස සංදීප

Related Posts Plugin for WordPress, Blogger...