Friday, August 31, 2012

සුදුවත ඇඳි කත

බෙල්ලන්විල පන්සලේ පෙරහැරට පාසල් රතු කුරුස සංගමේ ශිෂ්‍යයින්ට රාජකාරි පවරා තිබුණි. ශිෂ්‍යයින් දෙදෙනකු පමණක් විහාර භූමියේ තබා අන් සියල්ලෝම උත්කර්ෂවත් අන්දමින් ඇරඹුනු පෙරහැරේ ගියහ.

රාත්‍රී දොළහමාරට පමණ සුදු වස්ත්‍රයකින් සැරසුණු කාන්තාවක් අතේ කපුරු කැබැල්ලක්ද දල්වාගෙන ශිෂ්‍යයින් දෙස නොබලා උන් පසු කරමින් විහාර භූමිය තුලට ගියාය. කොලුවන් දෙදෙන ඔවුනොවුන්ගේ මුණූ බලා ගත්හ. උන්ගේ සිත් චකිතයකින් වෙලුණි.

විනාඩි කීපයකට පසු හතර පස් දෙනෙකු මොවුන් සිටිනා දෙසට දිව ආහ.

"පුතා මේ පැත්තට ගෑණු කෙනෙක් එහෙම ආවද?"

"ඔව් අංකල් අර පැත්තට ගියා." එකෙකු තම ඇඟිල්ල දිගු කර ඇය ගිය දෙස පෙන්නුවේය.

"හොඳ වෙලාවට තව ටිකෙන් ඉවරයි."

"ඇයි අංකල්?" එකෙක් ඇසුවේය.

"එයාට යකෙක් වැහිලනේ පුතා"


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, August 29, 2012

ලොතරැයි කොලුවා

“පුතේ මේකට දිනුමක් තියෙනවද බලන්න”

මෙසේ සතියකට සැරයක් තමන් කලින්දා මිළදීගත් ටිකට්පත දික්කරන මේ මැහැල්ල ලොතරැයි කොලුවාට ආගන්තුක අත්දැකීමක් නෙවෙයි…

“නෑනේ ආච්චියේ…”

හැමදාම පාහේ මේ ආකාරයට පිළිතුරු දෙන ලොතරැයි කොලුවා හිස් ටිකට්පත ඇයට ආපසු දෙන්නේ ඇයගේ මැලවුණු මුහුණ මගහරිමින්…

නමුත් මෙදින ලොතරැයි කොලුවාට වෙනස් දවසක්… මැහැල්ලට පිළිතුරුදීමට වෙනදාට වඩා කාලයක් ඔහු ගතකලේ එහෙයින්… තමා මේ කරන්නට යන්නේ සුදුසු දෙයක්ද, ඔහු තමන්ගෙන්ම විමසුවා… මැහැල්ල තරම් නොවුනත් තමනුත් අන්ත දුප්පතෙක්… අවසන ඔහු තීරණයට එළඹුණා…

“ඔන්න යන්තම් අද දාහක් තියෙනවා… මෙන්න සල්ලි”

“අනේ ඇත්තද පුතේ…”

දෝතින්ම තමා දුන් මුදල ලබාගෙන සතුටු සිතින් නික්මයන මැහැල්ල දෙස ප්‍රීතිමත් නෙතින් බලාසිටි ඔහු ටිකට්පත කුණු කූඩයට විසිකලා…


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, August 27, 2012

හඳට ගල් ගහමු

Effort යනු කුමක්ද? සරලව ගත්තොත් ආයාසය නොඑසේනම් තමන්ගේ උපරිම හැකියාව පෙන්වීමට ගන්නා උත්සහය. ආයාසය මැනීම සඳහා ඔබ සතු ගුනාංග දෙකක් වැදගත් වේවි.

capability හෙවත් හැකියාව

capacity හෙවත් ශක්තිය

තමන්ගේ උපරිම ආයාසය පෙන්වීමට කල හැකි උපරිම දෙය කැමක්ද? .

උදාහරණයක් ලෙස, ඔබට කොපමණ දුරකට ගල් කැටයක් වීසි කල හැකිද?
උස් ගසක දල්ලට
වලාකුලක් සමීපයට
ලයිට් කණුවක මුදුනට
උස් ගොඩනැගිල්ලක මුදුනට
නැහැ. ඔබේ උපරිම ශක්තිය මැනිය යුත්තේ ඒ කිසිම ආකාරයකින් නෙවෙයි.
වීසි කරන ගල් කැටයේ මානය විය යුත්තේ අන්කිසිවක් නොව සඳයි. ඔබ සඳ දෙසට වීසි කරන ගල් කැටය අඩු තරමේ අහසේ උපරිම දුරට යනු ඇත. ඒ ඔබේ ආයාසයේ නිවැරදි මිනුම වනු ඇති.


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, August 24, 2012

අනාගත මුණුබුරා

"ඉස්සර අපේ රටේ හිටියා පුතේ C.W.W.W. කන්නන්ගර කියලා මහත්තයෙක්. මේ මහත්තයා හැම ළමයෙකුටම එක සමාන විදිහට අධ්‍යාපනය දෙන්න ඕන කියලා හඬක් නැගුවා. අන්න ඒ මහත්තයාට පින් සිද්ද වෙන්න ඒ දවස්වල අපි ඉගෙන ගත්තා පුතේ තඹ සතයක් ගෙවන්නේ නැතුව. ඒ කාලේ ගුරුවරු අපිට උගන්නපු අකුරක් අකුරක් ගානේ ඉගැන්නුවේ කිසිම ගුරු පඬුරක් ගන්නේ නැතුව. හොඳට ඉගෙන ගත්තු ළමයා සල්ලි නැතත් ඉහළට ගියා අනිත් ළමයි පහළට ගියා. සල්ලි හේතුව කරගෙන නිසා කිසිම ළමයෙක් ඉහළ පහළ ගියේ නෑ. ඒත් ඉතින් ළමයි ඉගෙන ගන්න තරමට උසස් අධ්‍යාපනයට පහසුකම් දෙන්න රජයට බැරි උනා. අන්න ඒකයි......"

"අනේ ආත්තම්මේ stop it please, මම සුරංගනා කතා වලට කැමති නෑ"

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Wednesday, August 22, 2012

නාකි සීයයි මමයි

දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...

අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...

මට නිකමට හිතුණ.

ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.

ඒ වුණාට ඒක කරන එක ඒ හැටි ලේසි වුණේ නෑ. හැමදාම සීයට ටිකක් වැඩි වුණා. අමාරුම වැඩේ ලියාගෙන ගිහින් පස්සෙ ට්‍රිම් කරන එක.

ඒත් ඒ දවස්වල ඒක සෑහෙන ආතල්ජනක වැඩක් වුණා.

ඒ ඉස්සර...

දැන් ලියන්නෙ මේක...

වචන සීයක් පිරෙන්න ලියාගන්න තියෙන අමාරුව...

ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...