Thursday, May 21, 2015

අලුත් වැස්සක්

පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ.  වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.

මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව දාල ගිහින් ගොඩක් කල් වුණත් එයාගෙ මතකයන් වලින් තාමත් හිත පිරිලා. තනිවෙන හැම තප්පරේකම ඒ මතකයන් මට ගේන්නෙ දුකක්.  කවදා කොහොම මේ දුක්බර මතකයන් හිතෙන් මැකිලා යයිද කියලා මට හිතාගන්න බෑ.

පුංචියට වැටුණු වැහිපොද එකපාරටම මහ වැස්සක් වෙලා වැටුණා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, April 8, 2015

ප්‍රථම ප්‍රේමේ

දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....!

එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!

දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ටිකක් පරක්කු වෙලා.

දමයන්තිගේ අම්මා කලින්ම එනවා. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.

ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ අම්මලා එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Wednesday, April 1, 2015

රෝස මල

මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.

මම
රෝස මලක්
කවියා
සඟවා කටු
පෙන්වා තටු
හිනැහෙන
අපූරුව
විචාරකයා
රෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.

මම
රෝස මල කන දළඹුවෙක්
කවියා
පෙන්වුවද බඹරුන්ට තෙදබල
අසරණය නිර්දය දළඹුවෙකු ළඟ
විචාරකයා
රෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ එවන් රෝසමලද අසරණය. මිනිස් සමාජයේද  රෝස මල වැන්නෝ සිටිති. ඔවුහු අසරණ මිනිසුන් ළඟ තම තෙදබල පෙන්වති. නමුත් තමාටද වඩා බලවතෙකු ළඟදී ඔවුහු අසරණ වෙති.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, March 12, 2015

ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ

දින තුනක් පුරාවට ළෙංගතුව ගෙවූ චාරිකාව නිමාව සනිටුහන් කරමින් තිබේ. විනෝද චාරිකාව පුරාවටම වැඩි වාර ගණනන් ගැයූවේ 'ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ' ගීතයයි. ඊට හේතුව වූයේ ඇගේ බලවත් ඉල්ලීමයි.

මා ඇයට සමුදෙන්නේ කෙසේද? යළි ඇය මා හට හමුවේද?

එහෙනම් බායි අයියේ..

මේ නංගි..

ඇයි?

මම මේක ඇහුවට තරහ වෙන්න එපා. ආයෙ අපි හම්බෙයිද දන්නෙ නෑනෙ ඒකයි අහන්නෙ.

මොකක්ද?

තරහ වෙන්නෑ නේද?

නෑ.. නෑ... කියන්නකෝ ඉක්මනට අම්මලා යන්න හදන්නේ

මේ....

ඉතින්...

මේ... ඇත්තටම ගිරිහෙල් මුදුනේ මානෙල් පිපෙන්නෙ නැත්තෙ ඇයි?

පිස්සා.... යැයි සිනාහඬින් පවසා ඈ යන්නට ගියාය.

නිවසට පැමිණ පැය කිහිපයකට පසු මගේ දුරකථනයට නොහඳුනන අංකයකින් කෙටි පණිවිඩයක් පැමිණියේය.

girihel mudune manel nopipe.....

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, March 4, 2015

ප්‍රමාද වූ තිළිණය

මා මිලදීගත් පෙම් සිහිවටනය ආදරවන්තයන්ගේ දිනයේදීම ඇය අතට පත් කළද ඇය මාහට පෙම් තිළිනයක් දෙන්නේ අදය. පෙම්වතුන්ගේ දිනය පසුව දින කිහිපයක්ම ගතවුවත් මාහට තිළිණයක් නොදීම ගැන මා ඇය කෙරෙහි උරණ වී සිටියෙමි. නමුත් එය ආදරණීය තරහවක් බව ඇය දැනසිටියාය.

රටක් දිනූ රැජිනක සේ හිනාවෙමින් මවෙත පැමිණි ඈ දුඹුරු කවරයක් මා අත තැබුවාය.

"අනේ සොරි අයියෙ වැලන්ටයින් එකට දෙන්න බැරි වුණාට. මම ඕක හදන්න ගත්තෙ ජනවාරි මුල. ඔයාව පැන්සලෙන් ඇඳලා එක එක ඒව කරලා හැඩ කරලා ලැමිනේටින් කරපු කාඩ් එකක්. කැතයිද දන්නෑ. දැන් බලන්න එපා ගිහින් බලන්න."

සිතුවිලි බොහොමයක් සිතට පැමිණියද කිසිත් නොකී මම ඇය ළඟට ගෙන හිස්මුදුනට හාදුවක් තෑගි කළෙමි.

ලියා එව්වේ - හංස සංදීප

Related Posts Plugin for WordPress, Blogger...