Monday, January 31, 2011

මකුළු අවුරුද්ද..

අවුරුද්දට විතරමනෙ මුන්ට අලුත් වෙන්න හිතෙන්නෙ...
තුන්සිය හැට හතර දවසක් මේක පෙරේත විමානෙ වගේ තිබ්බෙ...
කාටවත් කරදරයක් නැතුව අහිංසක විදියට බිත්ති කොනක මදැයි මමත් දැලක් අටෝගත්තා...
සීලිමක්වත් නැති වහල යට හිරිකඩත් වැදි වැදි හිටියට මොකද කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුලුවං අගේ ඇති තැන...
සුමානෙකට සැරයක්වත් ගෙදර අතුගාන්නෙ නැති එවුන් අරගෙන ආවෙ නැතැයි කැප්පෙට්ටිය කොල අත්තක් බැඳගෙන ඉපලක්...
මගේ දුප්පත් ගෙදර කඩා දැම්මම තමයි උඹලටත් ගෙවල් අලුත් වෙන්නෙ...
උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන...
දැන් අගේට TV එක වට කරගෙන 31st night  බයිස්කෝප් බලන අපූරුව...
මං ඉතිං මැරීගෙන ආයෙත් බැඳපංකො මගේ දැල... හෙට එළිවෙන්ට කලියෙන්..
මටයි කියලත් ඉතිං අවුරුද්දක් තියෙන්නෙ එපැයි...

ලියා එව්වේ - ආගන්තුක සගයා (http://kanimadala.blogspot.com/)

Sunday, January 30, 2011

පිං නං එපා... චොකලට් එකක්?

පියසීලි නෝන ඔෆීසියෙ පරණ ලිපිකාරියක්!. තමන්ට අවාසි තැන්වලදි බබා වගේ ඉන්නව. වාසි තැන් වලදි කටගහගෙන යනව. හැමෝගෙම කුණු හොයන අතරෙ නොමිලේම බෙදාහරිනව.

ඔෆිස් එකේ පොදු වැඩකදි පේන්නවත් නෑ...

සතයක් වියදං කරන්න ලෝබයි. අනිත් අයගෙ වියදං වලින් යැපෙන්න පුදුම කෑදරයි.

හැබැයි පිං දහම් වලටනං පැනල එනව.

උන්දැ ලෝබ නැත්තෙ පිං දෙන්න විතරයි.

“ආනේ ගොඩාක් පිං හො‍ඳේ...” කියල ඇදල පැදල තැටිය දාල තමන්ගෙ වැ‍ඩේ කරන් මාරු වෙනව.

දවසක් සමරෙට කියල ලියුමක් ටයිප් කරගෙන...

“ආ‍නේ සමරෙ මල්ලි ගොඩක් පිං හො‍ඳේ...”

සමරෙට එව්ව හරියන්නෙ නෑ...

“පිං!? හරි ලේසියිනේ පිං දීල මාරුවෙන්ඩ! අතින් යනවයැ...? හුහ්! හවසට මට චොකලට් එකක් ඕන...”

එදා දවසෙම නෝන පේන්න නෑ...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Saturday, January 29, 2011

ආදරයේ වේදනාව....

හිමිදිරි පාන්දරම ඔලුවට පොල්ලකින් ගැහුවම තියෙන සනීපෙම ඇය මට අන්තිම පාරට කතා කරන කොට දැනුනේ මොන කරුමයකට ද කියලා හිතන්න කලින් මම බෝතලෙන් ෂොට් දෙකක් ගුඩුස් ගාලා දාගන්නකොට ම ඇස්දෙක අතර තිබ්බ හිඩැස මැද්දෙන් අතදාලා ඇදලා අරගෙන තොල් දෙක වේදනාවෙන් රතුවෙනකම්ම දුන්න හාදුව තව ඉස්සරහට පාවිච්චියට ගන්නවද කියලා හිතන කොටම මගේ ඉහ ඉද්දර පිහිටලා තියෙන නහර ඔක්කොම දඟලන්න ගන්න බව මට හිත පපුවට තට්ටුකර කරලා ඇන්ඩර්සන් අයියාගේ සුරංගනා කතාවල වීරය වගේ කියනකොටත් මම කල්පනාවට ගත්තේ මීට අවුරුදු පහකට කලියෙන් ආදරේ මොකද්ද කියලා ඉගෙන ගන්නත් කලියෙන් ආදරේ අඳුණගන්නත් ඉස්සර අපේ ආදරේ කරදරයකියි හිතපු ඒවැයේ ආදිනව තමා මාව බේබද්දෙක් කල එක ගැන.

Friday, January 28, 2011

එතෙර වනු පිණිස...

ගිජ්ජකූඨ පර්වතේ හූරං එන හුළඟටවත් කවදාවත්ම මගේ හිතේ ගිනි නිවන්න බෑ.. අඩුම තරමේ නේරංජනා නදියේ දවසක් ගිල්ලල තිබ්බත්.. සත්තයි.. මේ දුක් වේදනා බින්දකින් හේදිලා යන එකක් නෑ ඕං...
අරහෙ අප්පච්චි පණ අදිනවලු... අම්මැයි කියල මොනවයින් කරන්නද?..
වියන පොල් අත්තෙන් ලබන සොච්චමට මහමෙරක් කරන්න බැරි හින්දනේන්නම් ලොකු නංගි ඉස්කෝලෙ ගමන නවත්තල ගාමන්ට් එකේ වැඩට ගියේ.. ඒකිගෙ කලවයසත් රෙදිවලටයි ජුකී මැෂින්වලටයි යටවෙල ඔහේ ගෙවිල යනවා. මයෙ දෑතෙ හයි හත්තිය මේ වැලි පොලවේ ඉරි රටා වලටම සින්න වෙලා. මම විතරක් එතෙර වෙන්නෙ කොහොමද දෙයියනේ වදපු උන් දුක් විඳිනවා බලාගෙන.
"...පින්වත්නි...., පංචසීලය සමාදන්වීමට නමස්කාරය කියන්න...."
 අජාසත්තයි මගෙයි තියෙන එකම වෙනස මේ චීවරේද?.. මයෙ බුදුහාමුදුරුවනේ..!!

ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Thursday, January 27, 2011

මදුලාගේ කතාව!

මදූරි ආපහු කොලනියට එන්න හොඳටම වෙලා...

මදුර ඒ ගැන කල්පනාවක....

ඉවසන්න බැරිම තැන මදුර නැගිටලා මදුරි ඊයෙ ගිය ගෙදර පැත්තට ගියා.

නයිට් ෂිෆ්ට් එකේ මදුරි ‍ගෙවල් අස්සෙ රිංගන්නෙ දරුවො හදාගන්න පෝෂණේ හොයන්න.

ජීවත්වෙන්න ඉතිරි වෙලා තියෙන ටික කාලෙ ඇතුලත දරු පැටව් ටිකක් හදල ලෝකෙට යුතුකම් ඉෂ්ඨ කරන්න එපැයි...

නපුරු මූණක් තිබුණ කෙල්ලක් ගාවට ගිහින් මදුර කරුණාවෙන් විමසුවා මදුරි ගැන! කෙල්ල බිත්තියට ඇඟිල්ල දික් කලා.

මදුරි බිත්තියේ තැලිල. හදවත බිඳිල සීසීකඩ...

මදුරට ආපු ආවේගෙට පිස්සු හැදුණා. ඔහු කෙල්ලගෙ අතින් උස්සලා පොලොවෙ ගහල සුන්නද්දූලි කරන්න හැදුවා...

මදුරට තමන් කවුද කියන එකත් අමතක වුණා...

අන්තිමේ මදුරට මතක තිබුණෙ ලොකු අත්ලක රේඛා ටිකක්!

"චටාස්"


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...