Wednesday, April 11, 2012

කාලකන්නියෙක්ගේ හීන

හීන...

දැන් ඒවත් මාත් එක්ක විහිලු කරනවා. මාවත් විහිලුවකට අරන්. වෙලාවකට හිතෙනවා මේ නිදාගෙන ඉන්නේ වෙන මොකෙක් හරි එකෙක්ද කියල.

මුන් ඔක්කොම මට විරුද්දව පෙළ ගැහිලද කොහෙද. ඉරිසියාකාර යක්කු. මුන් මට විරුද්දව දර්ශන පෙන්නනවා. මුන් හදන්නේ මගේ මානසික මට්ටම වට්ටලා මට ප්‍රහාර දියත් කරන්න. ඒවා කොහෙද මාත් එක්ක.

මට ලබා ගන්න බැරි දේවල් මට පෙන්නලා තව තව මාව වට්ටන්න හදන්නේ. මම දැන් ඕවට අහුවෙන්නේ නෑ. එත්, ඒවා දකිද්දී, ඒ කාලේ, මම ඒ දවස් වල, කොච්චර සුන්දරද?

හනේ බලන්න අර අපි, හරි සතුටින්, අර අර ඈත අත් අල්ලගෙන, ලැජ්ජයිත් එක්ක...

හීන හීන......

කාලකන්නි මදුරුවා. ඒ ලස්සන හීනේ කෑවා..

දැන් නිදාගන්නැතුව ඉන්නද?



ලියා එව්වේ - අමින්ද ඉෂාර (http//wikarapituwa.blogspot.com)

Monday, April 9, 2012

(‍ෆ්‍රී)රැඩිකල්වාදය

මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා.

"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."

"ඒ මොකටද? "

"එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු. කෙල්ලොත් කැමති උන්ට තමයි. "

"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්?"

"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑනේ. උන් හරි ගූඪ චරිත."

"හරියට විරාගයේ අරවින්ද වගේ? "

"ඒ කවුද බන්? මම දන්නෙ නෑ... උඹත් මචන් ‍රැඩිකල් විදිහට හිතපන්. එතකොට පට්ට."

"චේ ගුවේරලා, ලෙනින්ලා, කස්ත්‍රෝලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"

මගේ මිත්‍රයා කරබා ගත්තා.


ලියා එව්වේ - පියසටහන් (http//www.piyasatahan.tk)

Friday, April 6, 2012

ඉන්දියන් කාරයෝ

යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.

“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”

"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."

“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”

“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් ‍කල්පනා නොකර ඉන්න තිබුණා.”

"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"

යාළුව දිගටම ඉන්දියාවට බණිනව.

ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.

මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.

“හික්ස්”


ලියා එව්වේ - hare :-)

Wednesday, April 4, 2012

දීකිරට සාක්කි කියපු අය

සුදු හඳුන් වටිනා ඹෞෂධයක්. කිලෝවක මිල දාස්ගානක්, රත්නපාලගේ වත්තේ තිබුණු ගස් වලින් වැඩිහරියක් මේහේතුව නිසා හොරු කපාගෙන ගියා, ඉතිරි ගස් කිහිපයත් යන්නේ හොරුන්ගේම අතට කියලා දැනගෙන උන්නු රත්නේ ගස් ටික කපන්න කොත්තරාත්තුව දුන්නේ ප්‍රසිද්ධ හඳුන් ගැනුම් කරුවෙක්ට, ව්‍යාපාරය නීතියෙන් තහනම් නිසාම ගස් කැපුවේ රෑයාමේ.

කපාදාපු ගස් ගෙනියන්න නියමිත දාට කලින්දා ගමට නන්නාදුනන කිහිප දෙනෙක් ඇවිත්, ගම්මු කලබල උනා, රෑයාමේ මොකක්ද කරන්නේ කියලා ඇහුවම කියපු පරස්පර විරෝධි කතා නිසා, මේ හඳුන් හොරකමේ ආපු අය බව අඳුනගත්තු ගම්මු ඔවුන්ට හොඳින් ගුටි දීලා පොලීසිටයත් බාර කලා.

පහුවදා විභාගයට ආපු පොලිසිය ගමට ආපු අහිංසකයින්ට ගහපු වරදට ගම්මුන්ව කූඩු කලා, ඇවිත් තියෙන්නේ හඳුන් මුදලාලිගේ මිනිස්සුලු.



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, April 2, 2012

ආදරේ හැටි

වෙනද වගේම අදත් ඔයාව හම්බ වෙන්න ආවේ ගොඩක් ආදරේ හිතේ තියාගෙන. තවමත් මගේ කියල අයිතියක් නැති, නමක් නැති, බැඳීමක්, ඔයාට දැනෙන්නේ නැති උනත් ඔයාගේ හිතුවක්කාර කොළු වැඩවලට නොවෙනස්ව ආදරේ කරන නිසාම වෙන්න ඇති මේ තරම් දුක.

වෙනද වගේම මේ ගන්ගරමේ ඒ බංකුව උඩ ඔය උරහිසට ඔලුව තියාගෙන ඔය තොල් වල උණුහුමට නළලත රේඛා මැවෙන මේ සුන්දර ඉර ගිලෙන හැටි ඔහේ බලන ඉන්න අපි වෙනස් නේද? මං තව ටිකක් ළං උනේ ඔයාට ආදරේ කිව්වට තේරෙන්නේ නැති හින්ද.

ඔව් ලස්සන බබාලා වටේම යනවා. ඔයා ඒ දිහා බලනවා දැක්කම මට හිනාත් යනවා. මේ කොල්ල හැදෙන්නේ නැහැ හදන්නත් බැහැ.

මේ ආදරේ හැටි වෙන්න ඇති.

ලියා එව්වේ - අංජු

Related Posts Plugin for WordPress, Blogger...