Monday, October 10, 2011

ආයෙත් අපි ආදරෙන්

මං හිතන් හිටිය වැරදී
"ඒක එහෙම නෙවෙයි"
ඔව් ඇත්තටම
එහෙම නෙවෙයි.
ඒත් සමහරවිට
ඒක දැං
මෙහෙම වුන නිසා..
සිද්ධ වෙන්නත් පුළුවන්
කොහොම වුනත්
දැං මම දන්නව
මට දැනෙනව

ඔයත් මට ආදරෙයි කියල..
සමහරවිට මටත් වඩා..
ඇත්තටම ඒ ආදරේ
මටත් වඩා වෙන්න ඇති.

මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වම
ඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙ
එහෙමම වෙන්න ඕනි..
මම වැරදියටයි හිතල තියෙන්නෙ..
සමහරවිට මමම නෙවෙයි
"අපි" වෙන්නැති
අපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇති
ඒක නිසානෙ
මෙහෙම දේවල් සිද්ධ වුනේ

ආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි
මටත් ගොඩාක් දුකයි
මොනා වුනත් අපිට අපි ඉන්නව
මට සතුටුයි
ආයෙමත් හම්බවුනානෙ..
මම ඔයාගෙමයි..
හැමදාමත්...


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Friday, October 7, 2011

ගින්න...

ගණ අඳුර පීරමින්
අනන්තය තෙක් ඇදුණු
නිසල ඇස් හෙලන එම
හිස් බැල්ම කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

රාත්‍රියේ නිහඩ බව
තුනී කරමින් හෙලන
සුසුම් පොඳ කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

වියලී ගිය මහ පොලව
තෙමන්නට තැත් කරන
එකක් පසු පස ඇදෙන
කඳුලු බිඳු කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

අසරණ වූ ඔබේ සිත
සනසවන්නට තනන
මා සිතත් ගොළු කරයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

මේ සියළු ලබැඳියන්
යලි දිනෙක මේ සසරේ
හමුව යලි වෙන් වෙලා
යලි මවයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

එම නිසා මේ සසර
කෙටි කරන මාර්ගය
සොයා මතු දිනෙක අපි නිවමු
සියළු සිත් දවනා ගින්න...


ලියා එව්වේ - සිත් (http://sithwerala.blogspot.com)

Wednesday, October 5, 2011

වෙලාවෙ හැටියට රත්තරං

වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.

අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.

මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.

මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.

නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.

ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.

ළඟ බහින අය ඒකත් තරණය කරල එපැයි බැහැගන්න.

බාර් එක ළඟත් නැවැත්තුවා. හිස පහළට නැවුණු බේබද්දෝ තුන්දෙනෙකුත් ඉස්සරහ දොරෙන්ම නැග්ගා.

යන්තම් හිස එසවූ උන් එකෙකුගේ කටෙන් රත්තරං විසි වුණා.

"මේ පැත්තෙ ගෑණු කට්ටිය ඉන්නවා අපි අරහෙට හැරෙමු බං"


ලියා එව්වේ - මගේ ජීවිතය(http://jeevithaya.wordpress.com/)

Monday, October 3, 2011

මේ පාර වෙනසක් කරමු!

ආයෙත් හිනා මූණු තාප්ප වල. පලාතම ආයෙත් වෛවර්ණ වෙලා. එක එක හිනාවල් දාපු පෝස්ටර් තාප්ප ප්ලාස්ටර් කරන්න අරන්.

දැන්නං කාට දුන්නත් වෙනසක් නෑ...

වෙනසක් කරනවා කියාගෙන ඇතුලට යන උනුත් කරන්නෙ හිටපු උන් කරපු ටිකමයි.

පොඩි කාලෙකට අපට හිතෙනවා අපි ආයෙත් රැවටිලා කියල.

ඒත් ඊලඟ වතාවෙ වෙන්නෙත් ඒකමයි.

දැන් ඉතිං එක්කො ඔය දෙන එක ගැන නොහිත ඉන්න ඕන.

නැත්තං ඕන එකෙක්ට දුන්නට වෙනසක් නෑ.

පාට වෙනස් වුණාට ඔය කොයිකත් එකම ජාතියෙ.


.............................


මම ඔහොම හිත හිත ඉන්න අතරෙ ගමෙන් ඡන්දෙ ඉල්ලන පොර ආව කොල්ලො ටිකක් එක්ක කොල මිටියකුත් අරගෙන.

"මල්ලි මේ පාර වෙනසක් කරමු නේද?"

පොර කිව්වා.

"හරි අයියෙ කරමු."

මම කිව්වා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Saturday, October 1, 2011

බලාපොරොත්තුවකින් තිතක් වුණත්....

තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.
එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.
ඒ මහා පොත් කන්දරාවෙන් සමහරු ගන්නෙ කැමතිම එක පොතක් විතරක් වෙන්නත් පුළුවන්.
එහෙනම් ඒක ඔතනින්ම ගන්න ඕනිද? එහෙම අයත් ඇයි පොත් ප්‍රදර්ශනේට එන්නෙ?
නෑ එදාට ඒ බිමට පය තිබ්බත් මොකක්දෝ මිහිරක් හිත පුරා ගත පුරා දුවනවා. ඒකයි එන්නෙ.
ඉස්සරනම් එයත් මා එක්ක ගියා.
මේ සැරේ එයා එන්නෙ නැති වුණත් මං පොත් ප්‍රදර්ශනේට යනවා.
ඒත් ඒක වෙහෙසකර වෙයි. අව්වෙ සැර වැඩියෙන් දැනෙයි. සෙනගත් වැඩියි කියල හිතෙයි.
ගියාට පොත් ටිකක් අරන් ගිය පයින්ම මං තෝන්තුවාවෙන් ගෙදර එයි.
එහෙනම් ඇයි මං පොත් ප්‍රදර්ශනේට යන්නෙ?
බැරිවෙලාවත් එයා ආවොත්?

ලියා එව්වේ - සූ ටික්කී

Related Posts Plugin for WordPress, Blogger...