Monday, September 19, 2011

බැස්කර්විල් බලු ‍රැළක්

රකුසු වෙස් ගෙන
මුඩුබිමට මා
නිතර එලවන
ආදි කල්පිත සත්වයෙකු ඇත
මගේ සිහිනෙක

කොටස් වශයෙන්ද
මා බය කරන
අඩ නින්දකින් වුව වැළපෙන
මේ දරුණු සාපය නිම කර
අකමැතිද එන්න මා සිහිනෙට

තූතන්කාමන්ටත් වඩා බලගතු
අයෙකි ඔබ නම් පෙම්වත
මෙතරමින් මා බය කළ
යකා නොපෙනන අයුරු ඔබ හට

සීනි බෝල කෑ විට
එහෙම වෙන බව කීවට
මුඩු බිමේ ඒ යකු හට
එක දතක් වත් නැත මගේ මතකෙට

බැස්කර්විල් දඩ බලු ‍රැළක් මට
ගෙනැත් දෙන්නට හැකිනෙ ඔබ හට

මගේ ඇද යට
එක්කො අයිනක
පාක් කරනට හැකිනෙ බලු ‍රැල
බුර බුරා උන් ඉදී එතකොට

අනේ පෙම්වත බෑ කියා හෙම
ගියොත් තරහයි මෙවරනම් මම

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Friday, September 16, 2011

ලොකු වෙනසක්!

දවසක් මල්ලිගෙ යාළුවො කට්ටියක් පෝස්ටර් ගහන්න ගිහින් පාප්ප මදි වෙලා.
එතකොට රෑ දොළහත් පහුවෙලා.
අවට ගෙවල් සේරමත් අඳුරේ ගිලී තිබුණා.
වෙලාවට අපේ ගේ තිබුණෙ එතනට කිට්ටුවෙන්.
එයාල අපේ ගෙදරට දුවගෙන ඇවිත් පාන්පිටි ඉල්ලුවා.
ඊයෙ හැන්දෑවෙ රොටී පිච්චුවෙ ඉතිරි පිටි ටිකෙන් මල්ලියෙ කිව්වම මල්ලිලා මැලවිලා ගියා.
එළිවෙන්ඩ කලින් පෝස්ටර් ටික වැදිල තියෙන්ඩෝන අක්කෙ කිව්වම මට වාවන්නැතුව ගියා.
ඒත් මට දැනුණා මොනවද කරන්නෝනි කියලා.
රත්ති රසයි උකුයි නිසා වැඩි පාප්ප ප්‍රමාණයක් හදන්න පුළුවන් ඇතිනෙ කියල දැම්මෙත් කිරි පිටි පැකට් භාගයයි.
ඉතින් එදා මල්ලිගෙ යාළුවන්ගෙ පෝස්ටර් ව්‍යාපාරෙ වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න රත්ති අපිට උදව් වුණා.
මල්ලිගෙ යාළුවොත් දැන් මට කියන්නෙ නුවණක්කාර අක්කා කියලා.

ලියා එව්වේ - මගේ ජීවිතය

Wednesday, September 14, 2011

අසෝබන ආමන්ත්‍රණය

 එයා මට කතා කළේ 'මල් පෙත්ත' කියලා.මම එයාට කිව්වෙ 'කුඩා දිය පාර' කියලා.අපි අත් පටලගෙන හෙවන වෙච්ච පාරවල් දිගේ කාලයක් තිස්සෙ ඇවිද්දා.මෙහෙම ඇවිදිනකොට අපේ සපත්තු ගෙවෙනවා කියලා හොයා ගත්තෙ එයා.අපි ඒක පාර අයිනෙ ගහක් කෙ‍ටුවා අනිත් අයටත් දැනගන්න එක්ක.හැමෝම කිව්වෙ දැන් ඇවිදින එක නවත්තලා වාඩිවෙලා ඉන්න පුරුදුවෙන්න කියලා.අපි වාඩිවුණා.නුලකින් ඇගිලි බැදගත්තා.දැන් එයා මට කියන්නෙ 'මල්' කියලා.මම කිව්වෙ 'දිය පාර' කියලා.එකපාරටම තවත් කුඩා මල් පෙත්තක් සහ කුඩා දිය පාරක් ඉපදුනා.අපිට තව දුරටත් ආමන්ත්‍රණ කෙටි කරන්න වුණා.දැන් එයා 'පාර'.මම 'පෙත්ත'.දවසක් පොලිස් ජීප් එකකින් කට්ටියක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගියා.හේතුව සැමියා බිරියට 'පෙත්ත' කීමත් බිරිය සැමියාට 'පාර' කීමත් කියලා පොලිස් පොතේ ලියලා තිබ්බා.

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, September 12, 2011

ඔයානම් මහ දුෂ්ටයෙක්!

හෙලෝ...
සුදූ...
ම්...
කියන්න...
මතක්වෙන්නැහැනෙ කියන්න දෙයක්.
මොනවහරි මතක්කරල කියන්න.
ඔයා අද බිව්වෙ නැද්ද?
ටිකක් බිව්වා.
කොච්චරක්ද?
ඒක ඔයාට වැඩක් නැහැ. වෙන දෙයක් අහන්න.
අනේ මට ඒක දැනගන්න ඕනි.
ම්හු. වෙන දෙයක් අහන්න.
ඉතිං ඔයාට බැරිද මට කියන්න කොච්චරක් බිව්වද කියල?
බෑ. මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්.
ඒ මොකද?
දැන් ඒ මොකද කියලත් අහනවා.
කෝ කියන්න මොනවහරි.
මං අද කේක් එකක් හැදුවා ඒත් මැද්ද ටිකක් අමුයි වගේ.
ෂික් කේක් කන්න බෑ.
එහෙනම් වඩේ?
ම්... නියමයි.
මං දවසක හදල දෙන්නම්කො.
සුදූ...
ම්...
මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්!

ලියා එව්වේ - සූටික්කී

Friday, September 9, 2011

ග්‍රීස් යකා

"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ..."
"ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා ගහක බැඳලා..."
"ඉතින් කවුද කොහොමද ඌව හොයාගෙන තියනවා කියන්නේ....?"
"අර අහවල් ඇමති තුමාගේ හොට් ලයින් එකට කවුද ඔත්තුව දීලා තියෙන්නේ. ඉතින් එතුමා වහාම ක්‍රියාත්මක වෙලා, හොඳට හොයලා බලලා පුද්ගලිකවම ගිහිල්ලා තමයි ඌව ගෙදරින් එලියට ඇදගෙන ඇවිල්ලා ගස් බැඳලා තියෙන්නෙ.........!"
"ඉතින් කොහොමද ඔප්පු කරන්නේ ඒ ග්‍රීස් යකාමයි කියලා....?"
"ආයෙත් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ, ඒක මේ ගමේ හැමෝම දන්නවා....!"
"ඒ කොහොමද බං ඒ...?"
"ඇයි බං... පහුගිය කාලේ හැම අවුරුද්දකම, සිංහල අවුරුද්දට තියෙන අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නේ ඌ තමයි. ඌ ඇවිල්ල මාර යකෙක්....!"

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)


Related Posts Plugin for WordPress, Blogger...