Saturday, August 20, 2011

දොස්තරගෙ උපදේශෙ

නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආවාම මට කම්බුලට ගහනව" කිව්ව. දොස්තර කිව්ව "ඕකට තියෙනවා ප්‍රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකවමින් ඉන්න. මහත්තයට නින්ද ගියා කියල සැක ඇරෙන කං වතුර ටික කටින් හලන්න එපා" කියල.

සතියකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.

දොස්තර කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක"කියල.


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Friday, August 19, 2011

මට නොදැනෙන ඔබට දැනෙන එකම දේ

ආදරේ ? ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම හිතට දැනෙන දෙයක්ද අතට අහුවෙන දෙයක්ද කෑ ගහල අඩල ඉල්ලුවම ලැබෙන දෙයක්ද ආදරේට නිර්වචනයක් තියෙනවද ඇයි මම ආදරේ කියන්නේ මේකයි කියල කියන දේ ඔයාට ආදරේ වගේ දැනෙන්නේ නැත්තේ මං ඔයාට කිව්වම ආදරේ කියන්නේ ඕක නෙවෙයි කියලා ඔයා ඇයි කියන්නේ අපෝ ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක් ඔයාට ආදරේ දැනෙන්නේ නැ කියලා හැම තිස්සෙම මගේ ආදරේ හැගීම්වලින් කියන්න බෑ.ආදරේ කියන්නම ඔනේද සද්දෙන් මං ඔයාට ආදරෙයි කියලා.ඇත්තටම මට දැනෙන්නේ නැද්ද ආදරේ ඒකද තවමත් මං ආදරේ හොයන්නේ ම්ට තවම ආදරේ ලැබිල නැත්තේ කවුරුත් මට ආදරේ කරන්න කැමති නැත්තේ මට හරිම ප්‍රශ්නයක් - මොකක්ද ඇත්තටම ආදරේ කියන්නෙ ??


ලියා එව්වේ - කල්හාරී

Thursday, August 18, 2011

අපේ සමහරුන්ගේ බ්ලොග් කෙරුවාව....

එකෙක් හිටස් දහස පසුකර ඇත ඒකට පෝස්ට් එකකි. තවත් එකෙක්ගේ බ්ලොග් එකට තුන් මාසෙකි. එයට තව පෝස්ට් එකකි. මෙන්න එක අක්කා කෙනෙක්ගේ බව්වා ගෙදර ගෙනත් අදට අවුරුද්දක්ලු. ඒකට තව පෝස්ට් එකකි. ඔන්න තව අයියා කෙනෙක්ගේ නැන්දගේ දුවගේ තුන්වෙනි උපන්දිනේ අදලු. එකට තවත් පෝස්ට් එකක්. තව එකෙක්ට යාළුවෝ කට්ටිය ෆේස්බුක් එකේ මඩක් ගැහුවලු. ස්ක්‍රීන් ෂොට්ස් තොගයක් එක්ක තවත් පෝස්ට් එකක්. මෙන්න අමුතුම කවියක්. වචන ටිකක් විතරයි. හැබැයි ඒක නියමයි කියලා කමෙන්ට්ස් ගොඩායි. කමෙන්ට්ස් දාපු උන්ගෙන් කවියේ තේරුම ඇහුවා උන් දන්නෙත් නෑ. ලියපු එකාගෙන් අහුවා ඌටත් හරියට තේරෙන්නෙ නෑ. ඔන්න ඔහේ කමක් නෑ. එක්කෝ ඕන එකක් කියලා මමත් ගිහින් නියමයි කියලා දානවා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, August 15, 2011

ඝණාත්මක චින්තනය

සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිටත් වුණේ වැඩේ ඉක්මනට කරගන්න.

ඒත් කාර්යාල පරිශ්‍රයේ වැඩකරන අය කවුරුවත්ම නෑ. වැඩ කරගන්න ආපු මිනිස්සු දහ පහලොවක් තැන් තැන් වල.

කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් දාගෙන හිටපු උගත් පෙනුමක් තිබුණ මහත්තයෙක් ගාවට කිට්ටු කරපු සමන් විස්තර ඇහුවා.

"අද මේ ඔපිස් එකේ අයට ධනාත්මක චින්තනේ ගැන දේශණයක්ලු මහත්තයෝ" මිනිහ කිව්ව.

හැබැයි ඒක විතරක් කියල නැවතුනේ නෑ.

"මම මේ වැඩේ කරගන්න ආපු තුන්වෙනි පාර. එක එක ප්‍රශ්ණ කියනවා... අනේ මුංගෙ ධනාත්මක චින්තනේ"

මිනිහ කෙල ගුලියක් බිමට ගැහුවා...

"මෙයාලගෙන් වැඩක් කරවගන්න එක ගලකින් පට්ටයක් ගන්නව වගේ..."

"මුන්ට තියෙන්නෙ ඝණාත්මක චින්තනයක්"


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Friday, August 12, 2011

කුණු අනිත්‍යයි

හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?

හෙට දිනයේ සිල් ගන්නා විට ඔබේ ඔසරිය අඳුරු පැහැ යැයි අනෙකුත් සිල්වතියන්ගේ අවඥාවට ලක් වේ යැයි ඔබ දුකෙන්ද?

නැති කරන්න ඒ දුක.

අදම 'පින්' රෙදි සෝදන කුඩු යොදා සෝදා ඔබේ සුදු ඇඳුම සුදෝ සුදු පැහැයෙන් දිදුලවාගන්න.

අත්ථාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා හෙවත් තමන්ගේ විමුක්තිය සලසාගන්නේ තමාමය ලෙස බුදුරදුන් වදාල ලෙසින්

ඔබේ රෙදි ඔබම සෝදාගන්න...

'පින්' කුඩු නිසා ඔබේ දෑතට ලැබෙන සුමුදු බව අත් විඳින්න.

හෙට පන්සල් යන්න කලින් අවබෝධ කරගන්න ඔබ.

සියළු සංස්කාර ධර්මයන් මෙන්.... කුණුද අනිත්‍යයි.

මෙය ඉදිරි කාලයේදී මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...