Wednesday, September 13, 2023

මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව

ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්‍රීඩා. අම්ම කුකිං සහ ටෙලි.

ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ මූණ ඇඹුල් කරන්.

ඉතිං පැයෙන් දෙකෙන් බැටරි බහින පරණ ෆෝන් එකක් අම්මට හදල දුන්නා.

ඊට පස්සෙ දෙන්නා කාමරේ ඉඳන් තමන් කැමති වීඩියෝ බලන්න ගිහින් වලි.

අම්ම කියනව තාත්තට එලියට ගිහින් බලන්නලු. සද්දෙලු.

අම්ම කාමරේ ඉඳන් බලනව.

තාත්ත සාලෙට වෙලා බලනව.

ෆෝන් එහෙමයි ආදරේ මැදට ආවේ.

ඒව තමයි සංසාර ණය ගණුදෙනු


ලියා එව්වේ - Hare :-)

Tuesday, February 14, 2023

අම්මගෙ ආදරේ...

රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ...

මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ.

උදේ හතරට නැගිටින එක මහ වැඩක්ද?

මකුළුවන්ට මොකටද මානව හිමිකම්?

අදට විතරක් සීනි දාල තේ බොන්නං...

කුරුල්ලන්ට බත් ටිකක් තිබ්බද?

අපි තරුණ කාලෙ ඕව ඕනතරං කාල තියෙනව. මං කාල ඉවරයි. ඔයාල කන්න.

ගෙදර ඉන්න ටික වෙලාවෙත් ඕකට මූණ ඔබාගෙන...

නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්න බැරිද?

පානාතිපාතා... දුප් හොර පූස!

මේ බල්ලා හපල දායි. නැත්තං මං උන්ව ගෙදර ගෙනත් හදනව.

නිවාඩු දවසෙවත් ඒ ළමයට නිදහසේ ඉන්න දෙන්න.

සරම ඩිසයින් දාල මැහුවට ඔච්චර ඔරවන්නෙ මොකටද? මැෂින් එකේ ඩිසයින් තියෙන්නෙ ඒව මහන්න



ලියා එව්වේ - Hare :-)

Friday, November 29, 2019

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්...

මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්.
ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?

බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?

නැතිනම් ඇය දැනටත් ඒ බව තේරුම් අරන්ද?

ඈ හිටියේ පිටව යන්න සූදානම් වෙමින් තුවාය ඇඳ විට්ටමේ වනා ඇඳුම් ඇඟලන්නට පටන්ගනිමින්...

ඔහුගේත් ඇයගේත් ලෝකය පවතින්නෙ අද හවස් වෙනකල් විතරයි.

ඊට පස්සෙ වෙනත් අය එක්ක බෙදාගත්තු තමන්ගේ නිරස ස්ථිර ලෝකවලට ඔවුන්ට යන්න වෙනව.




ලියා එව්වේ - Hare :-)

Thursday, November 28, 2019

වඳවීමෙන් ගැලවීමට...


"අන්තිමේ උඹ ආව නේද?"

ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා.

"උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."

මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා.

"හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ගොදුරු වෙන්න බලාගෙන..."

මිනිහා ඉමාන්ගෙ පිට අතගෑවා.

"උඹලවත් කෑමට ඇති කලානං කාලෙකට නැතිවෙන්නෙ නෑ..."


ඉමාන් යනු පසුගිය නොවැම්බර් 23 දින මිය ගිය මැලේසියාවේ වාසය කල අවසන් සුමාත්‍රියානු රයිනෝයි. ලෝකයේ සුමාත්‍රියානු රයිනෝවන් තවත් ඇත්තේ 80කටත් අඩු ගණනක්.


ලියා එව්වේ - Hare :- )

Monday, July 17, 2017

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.

බැම්මේ ඉහලින් වාඩිවී මාත් මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී ඈත් සිටින අතර අපේ දෑත් සිර නොවී, ඒත් මිදෙන්නටත් නොහැකිව වෙලී තිබුණි. ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් සුළං හඬ අසමින් අඩසඳ පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන රළ බිඳුම බලා සිටියාය.

මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.

මම මුහුද දෙස බැලීමි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Wednesday, March 15, 2017

මොහොතකට පෙර...

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.

මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය. උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් නොරැඳෙන බව ඔහුට දැනුණි.

හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය. තැලුණු සිගරට් පැකට්ටුව තුල යම්තමින් පොඩි වූ සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව දැනුනි. සැනසුමට පත්ව එය මුවේ රුවාගෙන අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට දැරූ ප්‍රයත්න කිහිපයකින් පසුව හොඳින් හුස්මක් ගෙන හෙතෙම සියලු ශක්තිය යොදා සිගරට්ටුව පත්තු කළේය.

නමුත් ඔහු ආග්‍රහණය කලේ සුපුරුදු දුම්කොළ හා තුනී කඩදාසි දැල්වෙන සුවඳක් නොව ස්පොන්ජයක් පිළිස්සෙන සුවඳකි. ඔහුගේ මුවට නීරස කහට රසයක් දැනුණි.

ඉකි බිඳුමක් කාමරයෙන් නික්මිණි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Monday, April 4, 2016

මං අකමැති බෝනික්කන්ට.

ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන වීරයො ගැන ලස්සන කතන්දර කියාදෙනවා. අන්තිමේදි අක්කාට කතන්දරයක වගේ වීරයෙක් හම්බුණා. දුෂ්ටයො එක්ක යුද්ධ කළා. හපන්කම් කළා. අක්කා ඒ ගැන සතුටු වුණා.

හැබැයි වීරයා ටික කාලෙකින් අතුරුදහන් වුණා. සමහරවිට තවත් යුද්ධයක් ඇති.

ඒ වුණත්  වීරයා අතුරුදහන් වුණ දුකට අක්කාට වමනෙ යන්න ගත්තා. ඒ නිසා අම්මා අක්කාගෙ කම්බුලට ගැහුවා. ඊට පස්සෙ තමයි අක්කාගෙ බඩ ඉදිමෙන්න ගත්තෙ. ටික කාලෙකින් අක්කා බෝනික්කෙක් එළියට දැම්මා. බෝනික්කාව දකිනකොට මිනිස්සු හිනා වුණා. ඒ අය හිනා වෙනකොට අක්කා ඇඬුවා. අඬලාම එපාවෙච්ච දවසක අක්කා හුස්ම ගන්නෙකත් අත්හැරියා. ඒ නිසා දැන් මං අකමැතිම බෝනික්කන්ට.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Tuesday, December 29, 2015

යනෙන පෙම් සිත් සොරා ගත්තී....

ජීවිතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම ජීවිතවල අරමුණු, පරමාර්ථ, අභිමාර්ථ, අවශ්‍යතා, වුවමනා, මේ සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය හැකිය. එවැනි සමාජයක් තුළ තම ශරීරය වෘත්තියක් බවට පත් කරගත් තම ජීවිතයෙන්ද වන්දි ගෙවන කාන්තාවෝ ද අද සමාජයේ බහුලව සිටිති.

සුදු මලක් ඇත කටු රැසක් මැද
ප්‍රේම උයනට මදක් නුදුරින්
සුවඳ විහිදන දිලී විකසිත වී....

යනෙන පෙම් සිත් සොරා ගත්තී
ඈ සොබමන් රුවැත්තී
හීන අතුරා ගෙපිල මත
විකුණනා වෙන්දේසියේ....

අඳුරු හිරු රැස් කඳුළු දෙද්දී
ඈ පියමන් කරන්නී
හෙටක් රඳවා දෑස් මත
සැඟවෙනා මන්දාරමේ....

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Tuesday, December 22, 2015

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි, වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරයි බොහෝ වෙලාවට වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ මතක් වෙන්නෙ තමන් කවුද යන වග කියලා.

ඒ අතර පෙම් හිලව් නිසා බූට් කාල හිරවෙච්ච එවුනුත් නැතුව නොවේ. ඔය අතරෙ අතරින් පතර හිතේ සතුටෙන් කාටවත් ඊරිසියා නොකර කුහකකම් කුප්ප වැඩ නොකර සමාජෙටත් ආදර්ශමත් අහිංසකව ජීවත්වෙන මිනිස්සුත් මේ සමාජෙ ඇතුළෙම ඉන්නවා.

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Friday, December 18, 2015

නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…

ආදරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු ආදරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයක්.

මෙහෙම සිය දහස් වාරයක් තම හිතෙන් විඳවන අය කෙතෙක් ඇත්ද? ඒ ආදරය අමතක කරන්න බැරුව සමහර විට ඇස්වල කඳුළු තමන් නොදැනුවත්ව වැටෙනා, තමන්ගේ හිතවත් තමන්ට පාලනයක් නැතුව, තමන්ට පවා අමතක වෙන තරම් වූ හිත පුරා ආදාරය කරලා ඒ ආදරය අමතක කරන්න බැරුව විඳවන දහසකුත් දෙනා ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව මේ ලෝකයේ හැම තැනම ඔවුන් ආදර සුසුම් හෙළනු බව නොඅනුමානය.

ලියා එව්වේ - පී.සෙහානි රංගිලා පෙරේරා (http://aseniwesi.blogspot.com)

Monday, December 14, 2015

මට කලින් පිපි මලක් වේ

සීමා මායිම් කියන්නේ ප්‍රේමයට අනිවාර්ය දෙයක්. කුලය, මුදල, වයස, ජාතිය, ආගම වගේ ගොඩක් සීමා මායිම් ප්‍රේමය හමුවට එනවා. ඒත් මේ හැම සීමාවක්ම හැම මායිමක්ම බිඳගෙන සෑබෑ ආදරයක් නම් ඇති වෙනවමයි. නමුත් ඒ ආදරය ඇති වුණත් ඒක හැම වෙලාවෙම සඵල වෙනව කියල හිතන්න අමාරුයි. ප්‍රකාශිත අප්‍රකාශිත ආදර කතා ගොඩක් ඒ අතර තියෙනවා. වියපත් බඹරෙකුට පුංචි රෝස මලකට පෙම් කරන්න බැරිද? ඒ වගේ.....

මලක් වේ
මට කලින් පිපි මලක් වේ
සිතක් වේ
ඒ මලට මට සිතක් වේ

නුරා සපිරුණු සිහිනයක් නොව
ප්‍රේමයක් පමණයි
සම්මතය බිඳ ලියන්නට සිතෙනා
පෙම් කවක් පමණයි

හදේ ඉපැදුණු රාගයක් නොව
ආලයක් පමණයි
ලොවින් සැඟවී අඳින්නට සිතෙනා
සිතුවමක් පමණයි
 
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, December 11, 2015

ඔබ සමරන සතුට නිවැරදිද?

තරුණ්‍යය ජීවිතයේ වැදගත්ම කාලපරාසයයි. එනම්, ඔබ මේ ගතකරන කාලය තුළ සතුට වෙනුවෙන් විවිධ දෑ සිදුකිරීමට පෙළඹී තිබේ. නමුත් ඔබ ජීවිතයේ සතුට සොයන්නේ නිවැරදි මාවතකද යන්න ගැටලුවකි. අද සමාජයේ තරුණ පිරිස් සිතට සතුටක් දැනුණු විට හෝ ඕනෑම දෙයක් සැමරීමට තම හිතමිත්‍රයන් සමග මත්වතුර, මත්ද්‍රව්‍ය පානය හා විවිධ දුරාචාර කටයුතුවල යෙදෙති. එයින් ඔබේ සිතට සතුටක් ලැබේද? යන්න ප්‍රශ්නයක් මතුවෙයි. ඇත්තටම එතුළින් ලැබෙන සතුට තාවකාලික බව අවබෝධ කර ගත යුතුයි. ඔබ මොහොතකට තමන්ගේ හදවතින් විමසා බලන්න ඒ සතුට පවතින්නේ කෙටි කලකට පමණක් නොවේද කියා. ඉන් වැළකී මානසික සතුට සදාකාලික බව අවබෝධ කරගනිමින් ඒ ගැන සිතා, ඒ වෙනුවෙන් තම ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න.

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Monday, December 7, 2015

බස් එකත් විලාසිතා ගාරයක්

ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

වත්සුණු වත උලා....
පැත්තක වැඩිවෙලා
කෝළමක් වගේ
ඒත්
කෝළමක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

විලවුන් මුසු වෙලා
සිහිය විකල් වෙලා...
පිස්සුවක් වගේ
ඒත්
පිස්සුවක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, December 4, 2015

කඳුළුවලට වටිනාකමක් අවැසිද?

විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි.

නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත් පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් ඔබේ සිතේ ඇති දුක කියා අඬන්න එපා. අපේ කඳුළුවලට හැමෝම වටිනාකමක් දෙන්නේ නෑ. එයින් සිදුවෙන්නේ ඔහුගේ වචනවලින් අපේ දුක තවත් වැඩි වෙන එක විතරයි. ඒනිසා කඳුළුවලට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟ විතරක් අඬන්න. නැත්තම් හිතේ දුක සුළඟට කියන්න... ඒ කියන්නේ ඔබේ දුක ඔබටම කියලා තුනී කර ගන්න.....

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Wednesday, November 18, 2015

රාත්‍රී හුදකලාව

රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට අසරණ වෙනවා. ඒත් ඒ අසරණකමින් මිදෙන්න මොකක් හරි කරන්න වෙනවා. එක එක්කෙනා එක එක දේ තෝරගනිද්දි මම කවියක් තෝරගත්තා. ඒක කෙනෙකුට ගොඩක් හරසුන් පදවැලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළෙ තියෙන්නේ මගෙ වේදනාව. මගේ ආදරේ. මගේ අතීතේ. කොටින්ම කිවුවොත් මගේ ජීවිතේ..

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, November 16, 2015

ඒ කෙල්ල

ඔව් මමයි ඒ කෙල්ල
විහිලුවට පද හදපු
පද වලින් පදමට හැදුන
හිත හොද කමට අත පාපු
මෝඩ කෙල්ල
බොරුව ඇත්ත කරන
ඇත්ත බොරු කරන
මුලාවට රැවටුන කෙල්ල
කප්පරකට හීන මවලා
හීන අතරේ පණ අදින
මල් මල් ලෝකේ
ගල් වලින් ගුටි කාපු කෙල්ල
රොන් ගන්න ආපු බබරගේ
විස වැදිලා මැරුනු
විස විසෙන් නැති කරපු
පොළොවේ පෑගෙන කෙල්ල
පාරේ දිගේ ඉබාගාතේ ඇවිදින
ජීවිතයට හුස්ම දෙන්න හිතන්
ගිය පාරෙ අතරමං වුන
මගක් හොයන කෙල්ල
ජීවිතෙ තැනක හිර වෙලා ඉන්න
ලැබෙන දේට වඩා
නොපෙනෙන නොදැනෙන
නොලැබෙන දේට
ආදරේ කරන
අමුතු ජාතියේ කෙල්ල
නාහේට නාහන හිතට
බොරු කරලා
ඇතුලේන් මැරි මැරි ඉපදෙන
මමයි ඒ කෙල්ල

ලියා එව්වේ - කල්හාරි

Thursday, October 15, 2015

සමාවෙයන් අයියෙ

ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ අවධානෙ ගන්න ලේසිවුණා. හැමතැනින්ම මගෙ මරණෙ ඉල්ලද්දි මම හිතුවෙ හරි උඹ බේරුණා කියලා. ඒත් මගෙ වචන එහෙමෙහෙ වුණා. අනික ඩී.එන්.ඒ.වලින් පරීක්ෂාවෙන් කොහොමත් මගෙ බොරුව අහුවුණා. අවසානෙ උඹ අහුවුණා. ඉතින් උඹ එල්ලුම් ගහට නියම වෙයි. මට සමාවෙයන් අයියෙ මට උඹව බේරගන්න බැරිවුණා. 

කොණ්ඩයා  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, August 17, 2015

වසත් නික්මන

පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි කිරිල්ලි යන්න ගියෙ ගේ කුරුල්ලෙක් හිටියද නැද්ද කියලවත් මතක නැතුව වගේ.
වලව්ව පැත්තෙන් ඇහෙන රතිඤ්ඤා සද්දෙ සුදු මැණිකෙ යනවා කියලා කියන්න වෙන්නැති. නැත්තම් සුදු මැණිකෙ යන දුකට රතිඤ්ඤාවල පපුව පැලෙන සද්දෙ වෙන්නැති. ඒකෙන් කෝක වුණත් කියන්නෙ සුදු මැණිකෙ යනවා කියලා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, August 12, 2015

මතක මල් සුවඳ

මලක් නොව නුඹ මට
දිනෙක පරව යන
මල් සුවඳක්ය සිතෙහි
සදහටම රැඳෙන......

පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු හින්දම එයාට පිටුපාල මට ගොඩාක් ආදරේ කරපු කෙනාගෙ වෙන්න මට හිතුනෙ නෑ. හිතපු විදියටම මට ගොඩක් ආදරේ නොකළ කෙනා දවසක මාව දාල ගියා. එදා මට මතක් වුණේ මට ගොඩාක් ආදරේ කළ කෙනාව. ඒත් ඒ වෙනකොට එයත් මගෙන් ගොඩාක් ඈතට ගිහින්.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Tuesday, August 4, 2015

ගමන් මල්ලක මිය ගියෙමි

මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.

මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය පමණ ඉක්මවා ගිය තැන මා ඔහුට පිළිලයක් විය. ඉනික්බිති ඔහු සතුව තිබුණේ මගේ මරණය පමණි. ඔහු නොපැකිලව එය මට ලබාදුන්නේය.

දෙනෝදාහක් ගැවසෙන තැනෙක ගමන් මල්ලක මා සිරකර දමා ඔහු මගහැර ගොස් ඇත. තව මොහොතකින් මිනිසුන් මා සොයා ගනු ඇත.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...