Friday, October 28, 2011

අවියෝජනීය බන්ධන

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.

උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.

අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.

මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.

නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.

අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.

මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......

කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් හිතුවෙ? විඳවනවා මතක හිටින්ඩත් එක්ක.

අම්මා: මේ සුදුළුණු ගෙඩිය කනේ රඳවං ඉන්න. ළමයෝ උගුර රිදෙන්නෙ හෙම්බිරිස්සාව හැදෙන්න. සෙමට කන් කැක්කුම. මමම ඉන්නෙපැයි සාත්තුවට.
 
ලියා එව්වේ - මගේ ජීවිතය

Tuesday, October 18, 2011

සතුට

අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා.
ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාලුවොත් එක්ක කතා කරපු දේවල්, ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා.
"ඇයි  අද වැඩිය කතා නැත්තේ?" හිටි හැටියේම ඔයා  ඇහුවා.
මගේ දුක තවත් හංගන්නේ නැතුව කියනවා කියල හිතුනා.
"අද අපේ යාළුවො ටික මාර වැඩක්නේ කලේ..." ඔයා තවත් කතාවක් පටන් ගත්තා. මාත් අහගෙන හිටියා.
ඇත්ත... ඔයාගේ සතුට දැකල මටත් සතුටු දැනුනා. එත්.... මගේ හිත....
"දවසෙම යාළුවො එක්ක හිටියට ඔයා දුකින් නෙවෙයි නේද ඉන්නේ?"  හිටිහැටියේම ඔයා ඇහුවා.
"අනේ නෑ." කම්මුල් දිගේ වැටුණු කඳුළු ඔයා දකීවි කියල මම ඉවත බලා ගත්තා.
ඔයා තවත් මොනවද කියනවා මට ඇහුනා.


ලියා එව්වේ - Starry Angel (www.tharuatharin.blogspot.com)

Saturday, October 15, 2011

විමලෙ

පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.

බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.

විමලෙ,
සද්දන්තයා
කඩවසම් හාදය
මගේම ලෙයින් උපන් දරුවෙක් වගේ.

මම දිවුවා.. විමලෙ බලන්න.
හිඟන්නෙක් වගේ බූරු ඇදක දපලා.. කට පැත්තට ඇදවෙලා.. ඇඟ වැහැරිලා...
මගෙ බඩ පපුව දාල පිච්චිලා ගියා.

ම..හ..ත්තයො...
විමලෙගෙ කට කොනකින් කෙළ බේරෙනව. මිනිහ දෑත් එකතුකොට මට වඳින්න උත්සාහ කරනව..

ම..ගෙ ගෑනිවයි දරුවවයිවත් බේරගන්න.....

මම දිවුවා කුස්සියට...මැණිකා කරුවලේම කුස්සියෙ මුල්ලෙ ඉකි බිදිනව..පොඩි එකා ජංගිය උස්ස උස්ස මා ගාවට ආව.

මට සමාවෙයල්ල... මම හිතුව සියල්ල සතුටුදායක අවසානෙකින් පස්සෙ කෙළවරයි කියල
මම හැඬුම් ඉවසගෙන කිවුව.. කියල අහක බලාගෙනම එළියට බැස්ස.

විචාරකයො... තුහ්! පර බල්ලො..
කඳුලුවලින් ඇස් බොදවෙද්දි මම හිතුවා.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

Wednesday, October 12, 2011

මහලු ගිගා බයිට්!

ඒ දවස් වල මම හිතාගෙන හිටියෙ මම මාර පොරක් කියලා. මගේ බ්රෑන්ඩ් එකත්, සයිස් එකත් හින්දා මට මම ගැන ආඩම්බර වෙන්න පුළුවන්කම තිබුණා. මගේ අයිතිකාර පොරත් මම නිසා පොර වෙලයි හිටියෙ.

ගිගා බයිට් තුන්සීයක් කිව්වම නිකංද? ඒක නිකං ගැස්සිල යන විධියෙ සයිස් එකක්. අනික පෝටබල් හාඩ් එකකට.

ඒ දවස්වල මැෂින් වල හයි කරපු හාඩ් වලටත් තිබුණෙ ඔය අසූව, එකසිය විස්ස වගේ සයිස්. හිතාගන්න පුළුවන්නෙ මට තිබුණ තැන?

ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා. ඊයෙ පෙරේද මගේ අයිතිකාර පොර ගෙනාව ටෙරාබයිට් 2ක හාඩ් එකක්! ඒක සොලිඩ් ස්ටේට් මෙමරියක්. ටෙරාබයිම දෙකක්...

මම වගේ හතක්!!!

දැන් මම නිකංම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකටත් පහත තත්වෙට වැටිලා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Monday, October 10, 2011

ආයෙත් අපි ආදරෙන්

මං හිතන් හිටිය වැරදී
"ඒක එහෙම නෙවෙයි"
ඔව් ඇත්තටම
එහෙම නෙවෙයි.
ඒත් සමහරවිට
ඒක දැං
මෙහෙම වුන නිසා..
සිද්ධ වෙන්නත් පුළුවන්
කොහොම වුනත්
දැං මම දන්නව
මට දැනෙනව

ඔයත් මට ආදරෙයි කියල..
සමහරවිට මටත් වඩා..
ඇත්තටම ඒ ආදරේ
මටත් වඩා වෙන්න ඇති.

මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වම
ඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙ
එහෙමම වෙන්න ඕනි..
මම වැරදියටයි හිතල තියෙන්නෙ..
සමහරවිට මමම නෙවෙයි
"අපි" වෙන්නැති
අපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇති
ඒක නිසානෙ
මෙහෙම දේවල් සිද්ධ වුනේ

ආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි
මටත් ගොඩාක් දුකයි
මොනා වුනත් අපිට අපි ඉන්නව
මට සතුටුයි
ආයෙමත් හම්බවුනානෙ..
මම ඔයාගෙමයි..
හැමදාමත්...


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Friday, October 7, 2011

ගින්න...

ගණ අඳුර පීරමින්
අනන්තය තෙක් ඇදුණු
නිසල ඇස් හෙලන එම
හිස් බැල්ම කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

රාත්‍රියේ නිහඩ බව
තුනී කරමින් හෙලන
සුසුම් පොඳ කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

වියලී ගිය මහ පොලව
තෙමන්නට තැත් කරන
එකක් පසු පස ඇදෙන
කඳුලු බිඳු කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

අසරණ වූ ඔබේ සිත
සනසවන්නට තනන
මා සිතත් ගොළු කරයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

මේ සියළු ලබැඳියන්
යලි දිනෙක මේ සසරේ
හමුව යලි වෙන් වෙලා
යලි මවයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

එම නිසා මේ සසර
කෙටි කරන මාර්ගය
සොයා මතු දිනෙක අපි නිවමු
සියළු සිත් දවනා ගින්න...


ලියා එව්වේ - සිත් (http://sithwerala.blogspot.com)

Wednesday, October 5, 2011

වෙලාවෙ හැටියට රත්තරං

වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.

අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.

මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.

මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.

නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.

ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.

ළඟ බහින අය ඒකත් තරණය කරල එපැයි බැහැගන්න.

බාර් එක ළඟත් නැවැත්තුවා. හිස පහළට නැවුණු බේබද්දෝ තුන්දෙනෙකුත් ඉස්සරහ දොරෙන්ම නැග්ගා.

යන්තම් හිස එසවූ උන් එකෙකුගේ කටෙන් රත්තරං විසි වුණා.

"මේ පැත්තෙ ගෑණු කට්ටිය ඉන්නවා අපි අරහෙට හැරෙමු බං"


ලියා එව්වේ - මගේ ජීවිතය(http://jeevithaya.wordpress.com/)

Monday, October 3, 2011

මේ පාර වෙනසක් කරමු!

ආයෙත් හිනා මූණු තාප්ප වල. පලාතම ආයෙත් වෛවර්ණ වෙලා. එක එක හිනාවල් දාපු පෝස්ටර් තාප්ප ප්ලාස්ටර් කරන්න අරන්.

දැන්නං කාට දුන්නත් වෙනසක් නෑ...

වෙනසක් කරනවා කියාගෙන ඇතුලට යන උනුත් කරන්නෙ හිටපු උන් කරපු ටිකමයි.

පොඩි කාලෙකට අපට හිතෙනවා අපි ආයෙත් රැවටිලා කියල.

ඒත් ඊලඟ වතාවෙ වෙන්නෙත් ඒකමයි.

දැන් ඉතිං එක්කො ඔය දෙන එක ගැන නොහිත ඉන්න ඕන.

නැත්තං ඕන එකෙක්ට දුන්නට වෙනසක් නෑ.

පාට වෙනස් වුණාට ඔය කොයිකත් එකම ජාතියෙ.


.............................


මම ඔහොම හිත හිත ඉන්න අතරෙ ගමෙන් ඡන්දෙ ඉල්ලන පොර ආව කොල්ලො ටිකක් එක්ක කොල මිටියකුත් අරගෙන.

"මල්ලි මේ පාර වෙනසක් කරමු නේද?"

පොර කිව්වා.

"හරි අයියෙ කරමු."

මම කිව්වා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Saturday, October 1, 2011

බලාපොරොත්තුවකින් තිතක් වුණත්....

තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.
එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.
ඒ මහා පොත් කන්දරාවෙන් සමහරු ගන්නෙ කැමතිම එක පොතක් විතරක් වෙන්නත් පුළුවන්.
එහෙනම් ඒක ඔතනින්ම ගන්න ඕනිද? එහෙම අයත් ඇයි පොත් ප්‍රදර්ශනේට එන්නෙ?
නෑ එදාට ඒ බිමට පය තිබ්බත් මොකක්දෝ මිහිරක් හිත පුරා ගත පුරා දුවනවා. ඒකයි එන්නෙ.
ඉස්සරනම් එයත් මා එක්ක ගියා.
මේ සැරේ එයා එන්නෙ නැති වුණත් මං පොත් ප්‍රදර්ශනේට යනවා.
ඒත් ඒක වෙහෙසකර වෙයි. අව්වෙ සැර වැඩියෙන් දැනෙයි. සෙනගත් වැඩියි කියල හිතෙයි.
ගියාට පොත් ටිකක් අරන් ගිය පයින්ම මං තෝන්තුවාවෙන් ගෙදර එයි.
එහෙනම් ඇයි මං පොත් ප්‍රදර්ශනේට යන්නෙ?
බැරිවෙලාවත් එයා ආවොත්?

ලියා එව්වේ - සූ ටික්කී

Related Posts Plugin for WordPress, Blogger...